මුල් පිටුව

  • හෙළ හවුලේ නයු වැ සිටි අරීසෙන් අහුබුදුවෝ

හැඳින්වීම

හෙළ හවුල යනු හෙළ බස, දෙස, රැස යන හෙළ තෙ රුවන සුරැක වවා, වඩා නංවාලීම පිණිස මෙ රටැ පවත්නා එක මැ සවිදහන (සංවිධානය) යි. 1941 ජනවාරි 11 වැනි දින ඇරැඹි හෙළ හවුල, 1992 නම්වර 38 දරන පනත මඟින් සිරි ලක් මැතිසබයේ (පාරලිමේන්තුවේ) ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිළිගැනිණි. මේ වන විටැ හෙළ හවුල මහත් අබිමනින් යුතු වැ සිය 75 වැනි වසර පසු කෙරෙමින් සිටී.

ඇරැඹුම

මෑත යුගයේ දී හෙළ බසට ඉහළතම මෙහෙවර කළ විද්වතාණන් ලෙස නිසැකින් මැ සැලැකුම් ලබන කුමරතුඟු මුනිදසුන් විසින් 1939 ජූනි මස ඇරැඹි ‘සුබස’ සගනුව නිසා රට පුරා හෙළ බසත් ලිවිසැරියත් (සාහිත්‍යයත්) පිළිබඳ වැ මහත් පුබුදුවෙක් ඇති වියැ. බසට ළැදි තුරුණු පිරිසෙක් ද ඇති වූ හ. ඔවුන් ගණනින් වැඩි වත් මැ ඔවුන් ගේ එකතුවක් ඇති කිරීමේ ඇවැසියාව බලවත් වියැ.

ඒ අනුවැ කුමරතුඟු මුනිදසුන් ගේ නිවෙස වූ පාණදුර ගොරකාපොළැ ‘හෙවණේ’ දී 1941 ජනවාරි 11 වැනි දින සුබැසියන් ගේ මුළුවෙක් (රැස් වීමෙක්) පැවැත්විණ. එහි දී සුබැසි එකතුවට නමක් වුවමනා වියැ. ජයන්ත වීරසේකරයෝ ‘හෙළ හවුල’ යන නම සැලැකැවූ හ. කුමරතුඟුවෝ මැ එය තිරැයූ හ. එ හෙයින් එය හෙළ හවුලෙහි මුල් මැ මුළුව සේ සැලැකියැ හැකි යි. මේ දිනැ මුළුනයු (සභාපති) වූවෝ මග්ගොන ගුරු ඇබෑසි විදුහලේ වදාරුවකු (කථිකාචාර්යවරයකු) වූ ඇංටන් පෙරේරා ජයමාන්නයෝ යැ. කුමරතුඟු මුනිදස්හු මුළුයේ අරමුණු පැහැදිලි කළ හ. එ දිනැ හෙළ හවුලේ මුල් මැ සකසුරුවන් ලෙස එඩී පනඳු, අබිරම් ගම්හේවා යන දෙ පළ පත් වූ හ. මුල් මැ නයුවෝකුමරතුඟු මුනිදස්හු මැ වූ හ.

පැතිරැයෑම

කුමරතුඟු මුනිදසුන් දිවමන් වැ සිටිය දී මැ පාණදුරේ ද ඒ අවට කළුතර මොරටුව ඈ පෙදෙස්හි මෙන් මැ කොළඹ අනඳ විදුහල ඈ තන්හි දු හෙළ හවුල් මුළු පැවැත්විණි. බස පිළිබඳ වියත්, පිරියෙසුම් දෙසුම්, හෙළ නළු සගයු (නාට්‍ය හා සංගීත) වැඩ සටහන් මෙහි දී පැවැත්විණි. හෙළ හවුලේ ඇතුළත්හු ද ඇතුළතුන් නොවන්නෝ ද සුවිසල් පිරිසක් මේ මුළු සඳහා සපැමිණිය හ. එ කලැ මැ හෙළ හවුලේ අතු හවුල් (ශාඛා) කිහිපයෙක් බිහි විණි. නිරිත දිගැ හෙළ හවුල, මාතර හෙළ හවුල එ බඳු අතු හවුල් වේ. මෙ කල හෙළ ලිවිසැරියෙහි මහත් මැ බලවේගය බවට පත් වැ තුබුණේ හෙළ හවුල යි. 1950-60 දසකවලැ දී හෙළ හවුලේ අතු හවුල් රට පුරා පැතිරිණ. අහංගම, උණවටුන, රත්ගම, ගාල්ල, කළුතර, මහනුවර ඈ නොයෙක් තන්හි සේ මැ ගාල්ලේ මහින්ද, ගල්කිස්සේ සාන්ත තොමසු ඈ විදුහල්හි පවා අතු හෙළ හවුල් බිහි විය. පාසල් සිසුහු ද එ කලැ ඇතුළතුන් අතර වූ හ.

හෙළ හවුල් නයුවෝ

කුමරතුඟු මුනිදසුන් ගේ ඇවෑමෙන් පසු ජයන්ත වීරසේකරයෝ හෙළ හවුලෙහි නයු බවට පත් වූ හ. එ කල්හි දු හෙළ හවුල ඉතා බලවත් වැ පැවැතිණි. ඉන් පසු රැ.තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, කෝදාගොඩ නැණලු (ඤාණාලෝක) හිමි, වරකාගොඩ සිල්රුවන් හිමි, අ.දො. චන්ද්‍රසේකර, අරීසෙන් අහුබුදු, අනඳපිය කුඩාතිහි, අමරසිරි පොන්නම්පෙරුම යන වියත්හූ හෙළ හවුලෙහි නයු තනතුර හෙබැවූ හ. හෙළ හවුලෙහි වත්මන් නයුවෝ ශ්‍රීනාත් ගණේවත්තයෝ යැ.

හෙළ හවුල් ගුරුකුලය

ඇතැම්හු – වෙසෙසින් ලක් සරසවි ඇදුරෝ – හෙළ හවුල ගුරුකුලයක් සේ හඳුන්වන්නට වූ හ. එහෙත් හෙළ හවුල යනු ගුරුකුලයෙක් නො වේ. පැරැණි හා වත්මන් හා වහර මැනැවින් විමසා නිවැරැදි බස් වහර මතු කොටැ එය සුරැකීම, එයින් නව නිමැවුම් කිරීම හෙළ හවුල පිළිගත් මඟ යි. ඒ ඉතා පුළුල් අරමුණින් මුළු මහත් බස මැ පදනම් කොටැ ගත් වියපුරුවෙකි. එ හෙයින් හෙළ හවුල යනු තවත් එක් ගුරුකුලයක් පමණක් ලෙස කිසි සේත් සැලැකියැ හැකි නො වේ.

හෙළ හවුල් මෙහෙවර

හෙළ හවුලින් බසට-රැසට-දෙසට ඉටු වූ මහත් මැ මෙහෙවර නම් එහි වියතුන් විසින් ඇති කැරුණු සුවිසල් ලිවිසැරිය යි. මේ වන විටැ, හෙළ හවුලේ වියතුන් විසින් ලියැවී එළි දැකැ ඇති පතපොත දහස් ගණනෙකි. ඒ සියල්ල වියත් ලොවැ ඉහළින් පිළිගැනේ. කිසි දු සරසවියෙකින් හෝ වෙනත් ආයතනයෙකින් හෝ එ බඳු ලිවිසැරි මෙහෙවරක් කිසි කලෙකැ ඉටු වී නැති.

හෙළ හවුලෙහි මෙහෙවර යටපත් කරන්නට, එය “භාෂා පරිශුද්ධවාදීන් ගේ” සවිදහනක් ලෙස හඳුන්වන්නට ඇතැමුන් ඉමහත් තැත් දැරුව ද ඒ සියල්ල මැඬගෙනැ හෙළ බස සුරැක්මේ පෙරමුණ ගනිමින් හෙළ හවුල නො සැලී, නො නැවී, නො වැටී හෙළ තෙ රුවනට ඉහළ මැ මෙහෙවර සලසමින් දිවමන් වැ වැජැඹේ.