කුමරතුඟු මුනිදස් 75 වැනි සමරුව හෙළ තෙරුවනට ලැදි හැමට මැ ඇරියුම්!

හෙළයේ මහ ඉසි කුමරතුඟු මුනිදස් වියතුන් ගේ 75 වැනි සමරු උලෙළ 2019 මාර්තු 02 වැනි දා, සනිදා, පස් වරු 3:00 සිට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී මහත් හරසරින් පැවැත්වීමට හෙළ හවුල සියලු කටයුතු යොදා තිබේ.

හෙළ හවුල් නයු ශ්‍රීනාත් ගණේවත්ත මහතා මුලසුන හොබවන මේ උලෙළෙහි වෙසෙසි අමුත්තෝ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේශ් ගුණවර්ධන මහතා ය. අමරපුර සිරි ධම්මරක්ඛිත නිකායයේ මහා නායක තිරිකුණාමලේ ආනන්ද හිමි, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, හිටපු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර යන වියත්හු සමරු දෙසුම් පවත්වති. විශාරද ජගත් වික්‍රමසිංහ, සමන්ත පියසෝම ඇතුළු පිරිස සමරු ගී ගයති.

‘සුබස සගනුවේ මුල් වෙළුම’, සිටිනාමළුවේ සුමනරතන හිමි ගේ ‘කුමාරතුංග මුනිදාස’, අරීසෙන් අහුබුදු ගේ ‘කුමරතුඟු ඇසුර’, මිරිස්සේ චන්දජෝති හිමි ගේ ‘රස දෝත’, ගාමිණී තිලකවර්ධන ගේ ‘දුටු ගැමුණු’ යන පොත්වල නව මුද්‍රණ ද ‘සංස්කෘති විශේෂ කුමාරතුංග අංකය’, ‘සුබස: කුමරතුඟු සමරු කලබ’ යන සඟරා ද මෙ දින එළි දකී.

හෙළ බසට මෙහෙ කළ සුබැසි වියතුන් කිහිප දෙනකුට ම හරසර පට පිරිනැමීම ද මේ උලෙළේ දී සිදු කැරේ. වැඩි දුර තොරතුරු සඳහා 077 4 127 090 අංකයෙන් හෙළ හවුලේ සකසුරුවන් ඇමැතුව මැනැවි.

– ක. ක. ගනුෂ්ක රන්දුල