භාෂා කේන්ද්‍රීය ජාත්‍යනුරාගයෙන් බිහි වූ හෙළ හවුල

K. N. O. ධර්මදාස මානව ඉතිහාසයෙහි ඒ ඒ ජන පිරිස් ඒකරාශි වීම නොයෙක් සංස්කෘතික අරමුණු කේන්ද්‍ර කොට ගෙන සිදු වී ඇති බව ඉතිහාසයෙන් පෙනේ. ඒ අතර ආගම සුවිශේෂ තැනක් ගෙන ඇති අයුරු මානව වර්ගයාගේ ඉතිහාසය පිරික්සන විට පෙනෙන්නකි. එසේ ම භූමිය, තමන් වෙසෙන ප්‍රදේශය මමායනයෙන් සලකා එය කේන්ද්‍රීය වස්තුව ලෙස සලකා ‘ජාතික ව්‍යාපාර’ ගොඩනැඟී තිබේ. භාෂාවත් එසේ ම ජාතික ව්‍යාපාරයන්හි අරමුණ ලෙස ගත් තැන් තිබේ. බොහෝ විට සිදු වන්නේ මේ සාධක සියල්ලත් තම පාරම්පරික සිරිත් විරිත් ආදියත් එක් ‘ජාතික උරුමයක්’ ලෙස සලකා ජාත්‍යනුරාගය ගොඩනඟා ගැනීම යි. මෙහි දී ‘ජාත්‍යනුරාගය’ යන පොදු යෙදුම යොදා ගැනුණේ ජන සමූහයක සාමූහිකත්වය ප්‍රකාශ කෙරෙන මනෝභාවමය සංකල්පයක් ලෙසට ය. ‘ජාති’ යන වචනයේ පටු අර්ථය ගත හොත් එය ලේ උරුමය හා සම්බන්ධ කාරණයක් වේ. හිට්ලර්ගේ නාසිවාදි ව්‍යාපාරය මෙන් ලේ උරුමය සඳහා ව්‍යාපාර මෙහෙයවී ඇත්තේ කලාතුරකිනි. එහෙත් ‘ජාතිකවාදී’ ව්‍යාපාරවල ලේ උරුමයත් එක් සාධකයක් බවට පත් වන්නේ ය. ‘ජාතිකවාදය’ (Nationalism) යනු මේ සියල්ල එක් වී ගොඩනැගෙන සංකීර්ණ සංසිද්ධියකි. භාෂාවේ වැදගත්කම කුමාරතුංගයන්ගේ ජාත්‍යනුරාගය භාෂාව කේන්ද්‍ර කොට ගත්තේ අප ඉහත සඳහන් කළ තවත් සාධක වන ආගම, භූමිය, සිරිත් විරිත්, ලේ උරුමය ආදිය ද සමාජයේ විටින් විට සඳහන් වූ වකවානුවක ය. ඉතිහාසය දෙස බැලුව හොත් කුමාරතුංගයන් තම භාෂා කේන්ද්‍රීය ජාත්‍යනුරාගය ඉදිරිපත් කළ 1920–1944 කාලය දෙස බලන විට ලංකාවේ දේශපාලන හා සමාජ ඉතිහාසයෙහි වැදගත් විපර්යාස ගණනාවක් සිදු වූ අයුරු අපට පෙනේ. බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ව තිබුණු ලංකාව සඳහා එහි දේශපාලන කර්තව්‍යයන් මෙහෙයවීම පිණිස ව්‍යවස්ථාදායක සභාව (Legislative Council) නම් ආයතනයක් යටත්විජිත පාලකයන් විසින් ලබාදී තිබිණි. මුල දී එහි ස්වදේශිකයන් කීප දෙනකු සිටියද ඔවුහු පාලකයන් විසින් ම තෝරා ගන්නා ලද්දාහු වූ හ. පළමුවරට (ඉංග්‍රීසි උගත් පන්තියට සීමා වූ) ඡන්ද ක්‍රමයක් මඟින් එක් ශ්‍රී ලාංකිකයකු ඊට තෝරා ගැනීමට 1912 දී වරම් ලැබිණි. ඉන් පසු දිවයිනේ දේශපාලනිකකරණය ව සිටි පන්තිය විසින් කරන ලද උද්ඝෝෂණයන්හි ප්‍රතිඵල වශයෙන් 1921 දී දිවයින කොටස් කීපයකට බෙදා ප්‍රදේශීය වශයෙන් ඡන්දයක් පවත්වා සභිකයන් තෝරා ගැනීමේ වරම අපට ලැබිණි. 1921 ප්‍රතිසංස්කරණයන්හි ඉතා වැදගත් පියවරක් වූයේ මෙතෙක් කල් ඉංග්‍රීසි උගතුන්ට සීමා වී තිබුණු ඡන්ද බලය සිංහල හා දෙමළ උගතුන්ට ද ලබාදී ම ය. ඊට අමතර ව දේපළ සුදුසුකම් ද තිබුණු බැවින් ඡන්ද බලය එක්තරා පිරිසකට සීමා විණි. සියලු බාධා දුරු කොට, වයස 21න් වැඩි සියලු පුරවැසියන්ට ඡන්ද බලය (සර්වජන ඡන්දය) හිමි කර දෙන ලද්දේ 1931 දී ඩොනමෝර් ව්‍යවස්ථාව මඟිනි. කුමාරතුංගයන් 1922 දී රජයේ සේවයෙන් ඉවත් ව ස්වාධීන ලේඛකයකු වශයෙන් ග්‍රන්ථකරණය, පුවත්පත්වලට ලිපි සැපයීම, මහජන දේශන පැවැත්වීම ආදි කර්තව්‍යයන්හි නිරත වෙමින් සමාජය කෙරේ බලපෑම් ඇති කිරීම ප්‍රබල ලෙස ඇරඹුණේ 1920 දශකයේ දී ය. ස්වභාෂා උගතුන්ට ඡන්ද බලය හිමි වූ නොබෝ දිනකින් කුමාරතුංගයෝ එදා පැවැති පුවත්පතක මේ කව පළ කළහ: අප තර පැමිණැ අප හට අපගේ මැ බසින් අප රට දියුණුවට සෑහෙන දෑ සත සින් තෙපලනු නොහැකි අය රජ මැති සබට ගොසින් සැප සිය රජය නොලැබෙයි අපට නිසි ලෙසින් ‘සිය රජයේ’ - ස්වරාජ්‍යයේ - සැපය අපට ලැබීමට නම් අපේ ම භාෂාවෙන් අප අතරට පැමිණ අපගේ ම බසින් කථා කළ හැකි අය මැති සබයට ගිය හොත් පමණි යැ යි ඔහු කියා සිටියේ එදවස මැති සබයට ගිය සැම දෙනා ම ඉංග්‍රීසි උගත් පන්තියට අයත් අය වීම නිසා ය. ඒ ඇතැම් අය නමින් සිංහල හෝ දෙමළ වුවත් සිංහල හරියට කතා කර ගන්නට වත් නොහැකි පිරිසක් වූ හ. එදා කුමාරතුංගයන් පෙන්වා දුන් සියබසෙහි අගය සමාජයේ පිළිගැන්මට ලක් වීමට තව බොහෝ ‍කලක් ගත විණි. නිවැරදි බස කුමාරතුංගයන් ‘සිය බස’ යනුවෙන් සඳහන් කළේ සිංහලයෙහි නිවැරදි ස්වරූපය යි. ඔවුහු මේ කාරණය තමා ලියූ කියූ දෙයින් නිති අවධාරණය කළහ. “ශිෂ්ට ජනතාවකගේ පළමු කොට මැ ශිෂ්ට වනුයේ භාෂාව යැ. ශිෂ්ට භාෂාවෙහි අසහාය ලක්ෂණය වනුයේ රීත්‍යනුකූල වීම යි. ම්ලේච්ඡ භාෂාවක් ව්‍යවහාර කළ ජනතාව ම්ලෙච්ඡ වන බව කිව මනා ද?” යනුවෙන් කුමාරතුංගයන් පවසා සිටියේ එවකට දිවයිනේ විශිෂ්ට ශාස්ත්‍රාලයක් ව පැවති විද්‍යෝදය පිරිවෙනේ ‘විද්‍යෝදය’ සඟරාවට ලියූ ලිපියක් මඟිනි. මේ කාලයේ දී ම (1934–36) ‘ලක්මිණි පහන’ පුවත්පත සංස්කරණය කළ කුමාරතුංගයන් මේ භාෂා ප්‍රතිපත්තිය නොකඩවා ගෙන ගිය අයුරු එම පුවත්පත පිරික්සීමෙන් පෙනේ. සිංහලයන් නිවැරැදි ව ලියන්නට පමණක් නො ව, කථා කරන්නට ද පුහුණු විය යුතු බව ඔහුගේ අදහස විය. ලක්මිණි පහනේ ‘ගුරු’ යන ආරූඪ නාමයෙන් ලියූ ලිපි පෙළක් මඟින් ඒ අදහස සමාජයට ගෙන යෑමට හේ වෑයම් කළේ ය. ජනතාවක් ව්‍යවහාර කරන භාෂාව ඔවුන්ගේ සිත කෙරේ ද බලපාන බව කුමාරතුංගයන්ගේ දැඩි විශ්වාසය වූ බව පෙනේ. ‘The Helio’ නමින් ඔහු සංස්කාරකත්වය දැරූ ඉංග්‍රීසි සඟරාවට ලියූ ලිපියක ඔහු මෙසේ කියා සිටියේ ය: “පහත්, දූෂිත, අශෝභන, නීරස භාෂාවක් විසින් නීච වූ කාලකණ්ණි මනසක් ජනිත කරනු ඇත” (A base, corrupted, inelegant and insipid language will produce a mean and miserable mentality) කුමාරතුංගයන්ගේ මේ අදහස දෙවිධියකින් සත්‍ය විය හැකි ය. පැහැදිලි ව, ව්‍යක්ත ලෙස තම බස හසුරුවා ගත නොහැක්කේ නම් ඉන් පිළිබිඹු වන්නේ ව්‍යාකුල මනසකි. අනෙක් අතට එබඳු බසක් යොදා ගැනීම ද එසේ භාවිත කරන අයගේ මනස දුර්වල කිරීමට සමත් වෙයි. කුමාරතුංගයන් යහපත් භාෂාව - සුබස - මෙතරම් අවධාරණයෙන් හුවා දැක්වූයේ මේ දාර්ශනික පදනම මත පිහිටා බව පෙනේ. මෙහිදී ‘සුබස’ යනුවෙන් වෙසෙසා දැක්වුණේ හුදු හෙළ වහර ය. ඔහුගේ භාෂානුරාගයට කේන්ද්‍රය වූයේ එම හෙළ වහර ය. එනම්: අන් කිසිදු බසකින් මුසු නොවූ ශුද්ධ සිංහලය ය. සිය පිළිවෙත පැහැදිලි කරමින් ඔහු මෙසේ පවසා ඇත: “මෑතෙකැ සිට ද අපගේ මහ වරදෙක් වී යැ. ඒ නම් සියල්ලෙහි දී හැකි පමණ සංස්කෘතයට බර වීම යි. දැන් ඇතැමුන් ඉංගිරිසියට බර වීම ගෞරවයක් කොටැ දක්නා සේ පෙරැ සිටියාහු සංස්කෘතයට‍ බර වීම මහත් වැදගත්කමක් කොටැ සිතූ හ. ඒ සිරිත අපට ද බෝ වූ බව කුමට කියමු ද? දැන් අපගේ යුතුකමක් වෙයි. එනම් සිංහලය හැකි පමණ නිදහස් කිරීම යි. වැටැහීම අඳුරු නොකොට ද කළ හැකි සියලු තන්හි අප විසින් පිරිසුදු සිංහලය යෙදියැ යුතු යැ. සංස්කෘතයෙන්, පාලියෙන්, දෙමළයෙන්, ඉංගිරිසියෙන් නොගත හොත් සිංහල අදහස් නොපැවැසියැ හැකි යැ යන දිළිඳු මතයට පහර දියැ යුතු යැ.” (-සුබස 1, 3, 1939) කුමාරතුංගයන්ගේ ලිපිලේඛන පරිශීලනය කරන්නන් දන්නා පරිදි මුල් කාලයේ දී ඔවුන්ගේ භාෂා ශෛලිය දැඩි සේ සංස්කෘතයෙන් පෝෂණය වී තිබිණි. උදාහරණ වශයෙන් 1926 දී ඔවුන් ‘ස්වදේශ මිත්‍රයා’ පුවත්පතට ලියූ ලිපියකින් කොටසක් උපුටා දැක්විය හැකිය: “වාංමාලාවගේ නෛර්මල්‍යය ද අර්ථයාගේ වෛශද්‍යය ද ශිෂ්‍යයන්ගේ සුඛවබෝධය පතන්නා වූ සමීක්ෂ්‍යකාරී මධ්‍යස්ථ සුධීහු කරුණා පූර්වක වැ අපගේ ප්‍රයත්නයෙහි සාර්ථකත්ව අසාර්ථකත්ව විනිශ්චය කෙරෙත්වා!” කුමාරතුංගයන් මෙලිපිය පළ කළේ ‘ඇයන්න පිළිබඳව ඉතා වැදගත් පණිවිඩයක්’ සිංහල උගතුන්ට දන්වාලීම සඳහා ය. එය පසෙක තබා, මේ ලිපියේ ඔහු භාවිත කළ දැඩි සේ සංස්කෘතකරණය වූ භාෂාව අපගේ අවධානයට යොමු විය යුතු ය‍. ඉන්දු-ආර්ය භාෂාවක් වන සිංහලය එහි සොහොයුරු භාෂාවන් වන හින්දී, වංග, ගුජරාති, මරාති ආදි භාෂාවන්ගෙන් වෙනස්, ස්වකීය අනන්‍යතාව ප්‍රකට කරන භාෂා ලක්ෂණ ගැනීම ඇරඹුණේ අනුරාධපුර අවධියෙහි දෙවන භාගයේ දී - එනම්: ව්‍ය.ව. 5–10 සියවස් තුළදී - ය. ඒ අනන්‍යතා ලක්ෂණ අතර සුවිශේෂ වූවක් නම් ‘ඇ’ කාරය නැඟි ඒමත්, එය ව්‍යාකරණමය කාර්යයක් ඉටු කරමින් භාෂාවේ නිශ්චිත අගයක් ලැබීමත් ය. මේ බවට ජීවමාන සාධක ව්‍ය.ව. 8–10 සියවස් කාලයට අයත් සීගිරි පද්‍යයන්ගෙන් පෙනේ. මහාචාර්ය පරණවිතානයන් කියවා පළ කළ ගී අතර 132 කවියේ මෙසේ එයි: ‘නැගී බැලු සන්ද සිහිපත් නොමවිද අඟනන් සුරත් අතැ ගත් දැකැ මල් මෙ අඟනක් සිහි කෙරෙ’ (පර්වතය නැඟී බැලූ විට කාන්තාවන් සිහිපත් වුණේ නැද්ද? මෙහි සිටින අඟනක් රත් පැහැති අත්වලින් ගත්තා වූ මල් දුටු කල ඒ අඟනන් සිහිපත් විය) දෙබසක් ලෙස රචිත මේ ගීයෙහි එන ‘අතැ’ යනු ආධාර විභක්ති ගත්තේ ය. ‘දැකැ’ යනු පූර්වක්‍රියා රූපය ගත්තේ ය. පොලොන්නරු හා දඹදෙණි අවධි වන විට ඇ-කාරය භාෂාවේ ප්‍රබල ලක්ෂණයක් ව පැවැති අයුරු අමාවතුර, ධර්මප්‍රදීපිකාව, කව්සිළුමිණ ආදි සාහිත්‍ය කෘතීන්ගෙන් පෙනේ. පසුව භාෂා පරිණාමයෙහි ප්‍රතිඵල වශයෙන් මේ ඇතැම් ව්‍යාකරණ ප්‍රයෝග අභාවයට ගියේ ය. ඒ කෙසේ වුව ද සිංහල භාෂාවෙහි මේ සුවිශේෂ අනන්‍යතා ලක්ෂණය විද්වතුන්ගේ අවධානයට පත් කළ පුද්ගලයා ලෙස කුමාරතුංග මුනිදාසයෝ ඉතිහාසගත වෙති. ඉහත උපුටා දැක්වූ (1926 වසරේ) ‘ස්වදේශ මිත්‍රයා’ පුවත්පතට ලියූ ලිපිය ඇ-කාරයේ මේ සුවිශේෂතා ලක්ෂණය ගැන වූයේ ය. එහි දී සිංහලයේ ඇ-කාරය යෙදෙන තැන් පහක් කුමාරතුංගයෝ පෙන්වා දුන්හ.එනම්: (1) ආධාර විභක්ති ඒකවචනය, (2) ඇතැම් ධාතූන්හි පූර්ව ක්‍රියා පදය, (3) අ-කාරය අනම්‍යාදේශ වන තැන (නිදසුන්: බබළයි - බැබැළෙයි), (4) අර්ථාවසානයෙහි ‘යැ’ නිපාතය, (5) අවධාරණාර්ථයෙහි ‘මැ’ නිපාතය. කුමාරතුංගයන් මෙසේ ඇ-කාරයේ සුවිශේෂ තත්ත්වය පවසා සිටීම එකල සිටි ඇතැම් උගතුන් නොරිස්සූ බව ඒ ගැන පැන නැඟුණු වාද-විවාදවලින් පෙනේ. ඒ කෙසේ වුව ද සිංහලයේ අනන්‍යතාව, ස්වාධීනත්වය මෙන් ම නිවැරැදි වහර යෙදීමේ වැදගත්කම ගැන තම අරගලය කුමාරතුංගයන් විසින් දිගට ම කරගෙන යන ලදි. එහි ප්‍රතිඵලය වූයේ 1939 වර්ෂයේදී ‘සුබස’ සඟරාව බිහි වීම ය. එය ‘යහපත් භාෂාව’ කෙරේ සිංහලයන්ගේ අවධානය යොමු කිරීම සඳහා ඇරඹුණකි. ‘කා කුමක් කීවත් සිය බස කෙලෙසා අපට නිදහසෙක් නො මැ ලැබේ පටන් ගන්නැ සිය බසින්’ එකල සිංහලයේ අභ්‍යුදය සඳහා කැප ව සිටි තරුණ පිරිස්, විශේෂයෙන් පාසල් ගුරුවරු, මේ සඟරාව හා එක් වූ හ. එයින් නොනැවතුණු කුමාරතුංග තම පණිවිඩය සමාජය වෙත යෑම සාර්ථක ව සිදු වනු දැක, 1940 වසරේ දී ‘හෙළ බස ඔසොවුව’ සඳහා හෙළ හවුල ඇරඹී ය. හෙළ හවුලේ අරමුණ වූයේ ‘බස, රැස, දෙස’ යන ත්‍රිමූර්තිය නංවා ලීම ය. ඊට පෙර ජාතිකවාදීන්ගේ සටන් පාඨය වූ ‘රට, ජාතිය, ආගම’ වෙනුවට මේ ත්‍රිමූර්තිය ආදේශ කැරුණේ විශේෂ අදහසක් පෙරදැරි කරගෙන බව පෙනේ. එනම්: ජාතිකවාදි ව්‍යාපාරයක පළමු තැන ගත යුත්තේ ‘භාෂාව’ - ‘සිය බස’ - ඔසොවා තැබීම බව අවධාරණය කිරීම ය. කුමාරතුංගයන් ඉන් අදහස් කළේ බස රැ‍කුණොත් ජාතියත්, දේශයත් රැකීම අපහසු නොවන බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *