හෙළ ගී මඟ මල් ගැන්වූ හෙළ හවුල

සුනිල් සරත් පෙරේරා කුමාරතුංගයෝ 20 වන සියවසේ මෙරට විසූ මහා දාර්ශනිකයෙකි. සිංහල ව්‍යාකරණය විධිමත් කිරීම, සාහිත්‍ය විචාරය ශාස්ත්‍රීය කර ලීම හා සාහිත්‍ය නිර්මාණකරණය පිබිදවීම යනාදි විවිධ අංශ කෙරෙන් එතුමන්ගේ දාර්ශනික දෘෂ්ටිය පැහැදිලි වෙයි. කුමාරතුඟයන්ගෙන් දේශීය සංගීතය හා ගීත සාහිත්‍යයයේ අභිවර්ධනය උදෙසා ද ඉටු වූයේ අද්විතීය මෙහෙවරකි. ඔහුගේ අනුදැන්ම හා මඟපෙන්වීම යටතේ බිහි වූ ‘හෙළ හවුල’ දේශීය සංගීත සංස්කෘතියක් ගොඩ නැඟීමට ඉටු කළේ පුරෝගාමි මෙහෙවරකි. මෙය ගැඹුරු සංකථනයකට හා විමර්ශනයකට භාජනය විය යුත්තකි. 1942 දී එතුමන් විසින් පළ කරන ලද ‘හෙළ මීයැසිය’ නම් ග්‍රන්ථය දේශීය සංගීතයක් මෙන් ම ගීත ප්‍රබන්ධකරණය පිළිබඳ ව ද නව දැක්මක් හෙළි පෙහෙළි කළේ ය. ‘සිංහල කවි කලාව - පැදි මඟ සේවනයෙන් හෙළ සංගීතයක් ගොඩනැඟිය යුතු ය,’ යන්න කුමාරතුංගයෝ මෙහි දී පෙන්වා දුන්හ. මේ නව දැක්ම ඩබ්ලිව්. බී. මකුලොළුව මහතා කළ පිරියෙසුම්වලට මෙන් ම, ‘හෙළ ගී මඟ’ ලියූ වින්සන්ට් සෝමපාල මහතා තාල හා රිද්ම පිළිබඳ කළ පිරියෙසුම්වලට ද බලපෑවාට සැක නැත. සුනිල් සාන්තයන් ස්වාධීන සංගීත මඟක් කෙරෙහි යොමු කිරීමට ප්‍රබල ලෙස බලපෑවේ හෙළ මීයැසියේ එන ‘මගෙ රට මගෙ දැය නිසා...’ ප්‍රබන්ධය බව ප්‍රකට කරුණකි. දේශීය සංගීතයක් පිළිබඳ ව ලියූ පළමු ග්‍රන්ථය ‘හෙළ මීයැසිය’ ලෙස සඳහන් කළ හැකි ය. විරිත සංගීත අංගයක් හැටියට සැලකීමට ගත් උත්සාහය හෙළ මීයැසියෙන් පැහැදිලි වෙයි. ‘ටියුන්’ (tune) යන ඉංග්‍රීසි වදනට සම අරුත් දෙන ‘තනුව’ යන වදන අද බහුල ව භාවිත වුව ද එය පළමු ව මතු වූයේ ද හෙළ මීයැසිය ග්‍රන්ථයෙහි බව පෙනී යයි. මහගමසේකරයන්ගේ නිර්මාණ කෙරෙහිද හෙළ මීයැසියේ බලපෑම දක්නට ලැබේ. තම ගී පොතට පෙරවදනක් ලියන මහගමසේකර සූරීන් පහත සඳහන් සටහන එහි තබා ඇත: “ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත ආදීන්ගේ ගීත ගුවන් විදුලියෙන් අසා මම මහත් ආස්වාදයක් ලැබුයෙමි. කුමාරතුංඟ මුනිදාසයන්ගේ ‘හෙළ මීයැසිය’ කියවීමට මට ලැබුණේ ඊටත් පසු ව ය. උසස් ගීත රසයක් මෙන් ම දේශානුරාග හැඟීම් ද මා තුළ ජනිත කරවීමට හෙළ මීයැසිය සමත් විය.” දේශීය සංගීත කලාවක් ගොඩනැංවීමේ දී පද්‍ය සාහිත්‍ය කලාව පාන ආනුභාව පසක් කොට ගත් කුමාරතුංග මුනිදාසයෝ සිංහල පද්‍ය කාව්‍ය සම්ප්‍රදාය හෙළි පෙහෙළි කරදීමටත්, එමඟින් ප්‍රණවත් භාෂා රීතියක් මතු කර දීමටත් සමත් වූ හ. ‘හෙළ මීයැසිය’ ග්‍රන්ථය මෙන් ම ‘විරිත් වැකිය’ ද එතුමන් අතින් ලියැවුණේ මේ අරමුණු මුල් කර ගෙන ය. “විරිතකට නැති එක ද වැකියෙක් විරිත් වැකියේ කිසි තැනෙක නැති,” බව පවසන කුමරතුංගයෝ විරිත් වැකියෙහි ලා ‘රස විට’ දහයක් මඟින් එය හඳුන්වා දෙති. ලෝකයේ අද පවත්නා නිර්මාණ සංගීතය මෙන්ම ගීත සාහිත්‍යය දෙසද විමසිල්ලෙන් බලන විට කුමාරතුංගයන් පද්‍ය සාහිත්‍යය කෙරෙහි දැක්වූ අප්‍රමාණ උනන්දුව කුමක් ද යන්න මනාව පැහැදිලි වෙයි. ඉරානයේ (කලින් පර්සියාවේ) එදා මෙන් ම අදත් සංගීතයේ හා ගීතයේ පදනම වී ඇත්තේ පද්‍ය කාව්‍ය කලාව ම බව පෙනී යයි. රවීන්‍ද්‍රනාත් තාගෝර් තම රවීන්ද්‍ර ගීතාවලිය මඟින් මතු කළේ ඉන්දීය භක්ති කාව්‍ය සම්ප්‍රදායෙහි හා ජනගීයේ නාදධ්වනිය ලෙස සමහරු සලකති. එක් තතක් වයමින් ගායනය කළ බාවුල්වරුන්ගේ ජන ගීය ද ඔහුගේ වින්දන මූලයක් වී ඇති බව ප්‍රකට ය. සුප්‍රකට ස්පාඤ්ඤ ජාතික කවියකු හා ලේඛකයකු වන ෆෙඩ්රිකෝ ගර්සියා ලොර්කාගේ ගිටාරයෙන් මතු වූයේ ද ස්පාඤ්ඤ අහිගුණ්ඨික ජනයාගේ සාම්ප්‍රදායික පද්‍ය කාව්‍ය කලාවේ ගී විරිත ම බව පැහැදිලි වෙයි. සුනිල් සාන්තයෝ භාෂාවේ සංගීතය මත පිහිටා නව සංගීත ධාරාවක් මතු කර ගැනීමට උත්සාහ දැරූ සංගීතඥයෙකි. කුමාරතුංගයන් මෙන් ම කුමරතුඟු මඟ අනුදත් හෙළ හවුලේ ගීත රචකයන් බොහෝ දෙනකුගේ ගීත ප්‍රබන්ධ සුනිල් සාන්තයන්ගේ මේ නිර්මාණ කාර්යයට අනුබලයක් විය. අර්ථවත් ගීත විචාර සංකථනයක් හේතුවෙන් හෙළ හවුලේ ගීත ශෝතෘෘන්ගේ අවධානයට පාත්‍ර නො වී ය. රැයිපියල් තෙන්නකෝන් කිවිසුරු පබඳුවා පබඳ කළ ‘කුකුළු හැවිල්ල’ සුනිල් සාන්තයන්ට නව සංගීතමය අත්හදා බැලීමක් කිරීමට මඟ පෙන්වීමක් කළේ ය. ගීතයට උචිත ශිථිල හෙළ බස ගීතයට ඇවැසි සුබෝධත්වය මතු කළේ ය. හෙළ හවුලේ කවීන්ට මෙහි දී කුමරතුඟුවන්ගේ ගීතාවලියේ මතු වූ “සඳපානේ වැලිතලා සුරකුමරියෝ මල් සලා...” වැනි ගීත ප්‍රබන්ධ කිසියම් උත්තේජනයක් වූවාට සැක නැත. ශුද්ධ හෙළ බස් රීතිය උපයෝගි කරගනිමින්, එකිනෙකට වෙනස් පද්‍ය ආකෘති, රිද්ම රටා හා විරිත් ද, කට වහර ද මනෝඥ ලෙස උපයෝගි කර ගනිමින් ගී පබඳ කළ අරීසෙන් අහුබුදුවෝ අද්‍යතන ගීත සාහිත්‍ය මඟෙහි ප්‍රදීපස්තම්බයක් බඳු විය. ඇ-කාර ශබ්ද යෝජනය හා හලන්ත අක්‍ෂර ගැළපීම ගීතයට අපූරු අලංකාරයක් කරගත් අයුරු අරීසෙන් අහුබුදුවන්ගේ ‘අතු අගැ දිලි වන මල් පිපෙන්නා විඳැ විඳැ සඳ සිහිලැල්...’ යනුවෙන් ආරම්භ වන ගීයෙන් දැකගත හැකි ය. අරීසෙන් අහුබුදුවන්ගේ ‘වසන්ත ගීතය’ (‘මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී...’) ද ගීත ආකෘතියක් සකස් කර ගැනීමේ දී කිසියම් මඟ පෙන්වීමක් කරන සුබෝධත්වය මතු කර පෙන්වන පූර්වාදර්ශි ගී පබඳකි. සුනිල් සාන්තයෝ ද සංගීතඥයකු මෙන් ම හෙළ හවුලට ම අයත් ගීත පබඳුවකු වශයෙන් ද සැලකිය හැකි ය. ස්වර අල්පයක් භාවිත කරමින් ගී පබඳ රචනා කළ සංගීතමය පර්යේෂණ කාර්යයන්ට ඔහුගේ ම ගීත ප්‍රබන්ධ යොදා ගත් අවස්ථා බහුල ය. ‘මලේ මලේ...’ ගීය මෙයට එක් නිදසුනකි: ‘මලේ මලේ මලේ නෙළා දියන් මලේ මලේ මලේ මලේ දොළේ උපන් මලේ...’ හෙළ හවුලේ දෙවන නයුවා වූ ජයන්ත වීරසේකර පබඳ කළ ‘සිංහල අවුරුද්දේ...’ ගීතය එවක සිංහල අවුරුදු සමයේ සිරිලක් රෙදෙව්වෙන් (රේඩියෝවෙන්) ප්‍රචාරය වූ, නිතර අප මනසේ රැව්-පිළිරැව් නැඟෙන ගීයකි. හෙළ හවුලේ ගී පබඳුවන් අතරින් පඬිවරයකු වූ ගුණපාල සේනාධීරයන්ට හිමි වන්නේ වෙසෙස් තැනකි. ඔහු ගීතය සඳහා නව ආකෘති මතු කළ ගී පබඳුවෙකි. ‘අදයි වෙසක් පොහෝ - මඟුල් ගෙයක් මෙලෝ...’ හා සුනිල් සාන්තයන් ගයන ‘දොහොත් නඟාලා, සිරස නමාලා, මුනිඳු වඳිමි ගිලෙමි එහිමි ගුණ ගඟේ...’ ගීත මෙයට නිදසුන් ය. සුනිල් සාන්තයන්ට ගී පබඳ කළ පබඳුවන් අතර අමරසිරි ගුණවඩු කිවිඳාණෝ ද වෙත්. ඔහු ලියූ ‘විරුසේකර සමරු ගීය’ ඔහුට ම විශේෂ හෙළ බස් රීතිය අධ්‍යයනයට රුකුලක් වෙයි. හියුබත් දිසානායක සූරීහු හෙළ හවුලට අයත් අද්‍යතන ගීත සාහිත්‍ය වර්ධනයට අනුපම මෙහෙයක් කළ ගී පබඳුවාණ කෙනෙකි. සුනිල් සාන්තයන් ගයන ‘මිහිකත නළවාලා...’ ගීය මෙන් ම, ‘පිරුණු ඒ සොමි සඳේ කැලුම් සේ අගේ...’ ගීය ද, ‘රැල්ල නැඟෙන්නේ වැල්ල බලා ගලන්නේ...’ ගීය ද හෙළ ගී මඟෙහි නව ආවර්තනයක් සිදු කළ ගීත ලෙස දැක්විය හැකි ය. ඔවුන් හෙළ ගී මඟට පිවිසෙමින් මතු කළ අපූර්ව අලංකාරත්වය ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක් වශයෙන් ගීතයට අවශ්‍ය ශිථිල බව හා සුබෝධත්වය මතු කර ගැනීමට ගත් තැත මනා ව පැහැදිලි කරයි. සූර ගීත රචකයාට භාෂාවේ එන එකදු වචනයක් හෝ ඉවත නො ලා, රසයන් ජනිත කළ හැකි බව හියුබත් දිසානායකයන්ගේ නිර්මාණ ඇසුරෙන් දැක ගත හැකි ය. ඔහු‍ගේ ගී රැසැයුම් අතරින් හමු වන: ‘අහෝ මගේ බොළඳ බඳේ ඔබේ රූ විලේ...’ ‘පෙමේ සුවඳ සුනිල් උපුල් සි-සී එනු පෙනේ...’ ‘කැලෑ මලේ ඔබයි මගේ පරෙවි කිරිල්ලී...’ වැනි යෙදුම් මෙයට නිදසුන් කිහිපයකි. ඔහු කට වහරේ එන ප්‍රයෝග ඉතා සූර ලෙස උපයෝගි කර ගත් අවස්ථාවක් ‘මෙවන් පිටිසරේ...’ ගීතයෙන් දැක ගත හැකි ය: ‘... සුවඳ තෙල් දමා සමන් කැකුළු වළලු ලා බෙදා වරල බැන්ද කලට හඃ හ-හා හ-හා...!’ “හරි ලස්සන යි!” කියනු වෙනුවට යොදා ගත්, චමත්කාරය හා සතුට පළ කරන අපූරු යෙදුමක් ලෙස මේ ‘හඃ හ-හා හ-හා...!’ යෙදුම දැක්විය හැකි ය. හෙළ හවුල පද්‍ය සාහිත්‍යය කෙරෙහි මෙන් ම ගීත සාහිත්‍ය කෙරෙහි ද, දේශීය සංගීතයන් මතු කර ගැනීම කෙරෙහි ද අනුභව පාන, අඛණ්ඩ ව ගලා එන මහා ප්‍රවාහයකි. හෙළ හවුලේ මේ ගීතාවලියට දිනෙන් දින තවදුරටත් නව ප්‍රබන්ධ එකතු වන බව ද පෙනී යන කරුණකි. ගරුතර තිරිකුණාමලයේ ආනන්ද මහ නා හිමි පාණන් ‘තුරු දෙව් මහා නා සමිඳුනේ...’ යනුවෙන් රචනා කළ පබඳ මෙහි දී නිදසුනක් සේ සඳහන් කළ හැකි ය: ‘ලක් සඟ තඹර විලේ - උදා හිරු පුබුදන සසුන් කුසුම් ජනසෙත පිණිස උපන් - සුපින් කෙත දම් රැකි සඟ රජි‍ෙඳේ... සීල සුසංගත වර ගුණ සෝභිත මඩිහේ මහ නා හිමි සඳුනේ... සසුන් කසුන් හර දිමුත් තරළ මිණ දැයේ පිනෙන් දිනු හෙළ දෙරණේ...’ මෙනයින්, හෙළ හවුලේ කවීන්ගේ හා ගීත රචකයන්ගේ කව්-ගී පබඳ සේවනය කිරීමට ද විවිධ දෘෂ්ටිකෝණවලින් බලා එය ප්‍රතිගවේෂණය කිරීමට ද කාලය එළඹ ඇති වග අවධාරණය කරනු කැමැත්තෙමි. එය අද්‍යතන පද්‍ය සාහිත්‍යයේ සහ ගීත සාහිත්‍යයේ අභිවර්ධනයට හෙතු වන කරුණක් වනවාට කිසි දු සැක‍‍යක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *