වියරණය වෙනුවෙන් හෙළ හවුල ඉටු කළ සේවාව

අ. ආ. ගුණතිලක “රීතියක් නීතියක් නැති ජන සමාජය මෙන් මැ භාෂාව ද අවුලින් අවුලට වැටෙයි. සිංහල භාෂාවට මේ විපත්තිය එබී සිටී. වළකන ප්‍රයත්නයක් දැන් මැ වුවමනා යැ.” මේ කුමාරතුංග මුනිදාසයන් 1937 වසරේ සිය 'ව්‍යාකරණ විවරණය' නමැති ග්‍රන්ථය ආරම්භ කරමින් එහි සංඥාපනයෙහි මුලින් මැ යෙදූ වැකි කීපයෙකි. “යම් බසෙක් නොදියුණු නම් එබස පවත්නා රට ද නොදියුණු වෙයි යනු පෙරැදිගැ මැ අදහසෙක් නො වේ. පැළදිගැ මහ පඬුවන් ගේ ද අදහසයි. එක්-දෙදෙනකුන් විසින් පමණක් රටක් වැඩියැ නොහැක්කැ. එහෙත් එබන්දකට සෙස්සවුන් ගෙන් මඳ වහලක් හෝ ලැබෙතොත් ඒ දිරිකර වෙයි. මේ අතින් සුබස වඩනු රිසි, හෙළ බසට හිතවත්තු දැන් බොහෝ වෙති. ඔවුන් හැම එක් වැ යමක් කරනු බව යි, මේ විටැ වුවමනා... එහෙයින් දිරි වඩමු; එකතු වෙමු, හවුලක් ඇති කොටැ රට පුරා අතු බෝ කොටැ, ඉන් අප ගේ ම‍ඟෙහි හෙළයන් පහදවමු.” මේ කුමාරතුංග මුනිදාසයන් 1941 වසරේ ජනවාරි 11 වැනි දා හෙළ හවුල අරඹමින් කළ දෙසුමින් උපුටා ගත් වැකි කීපයෙකි. මේ ප්‍රකාශවලින් පෙනෙන්නේ ඒ වන විට අවුලෙන් අවුලට පත් වැ පැවැති සිංහල භාෂාව ඒ විපතින් මුදා ගෙනැ එය නඟා සිටුවීමට හෙළ බසට හිතවතුන් එකතු වී කිසියම් සංවිධානයක් ඇති කිරීමේ වැදගත්කම එ මඟින් කියා පෑ බව යි. අවුලක් නැති ව බසක් රැකෙන්නේ එ බසට අයත් ව්‍යාකරණ නීති පිළිපදිමින් එය හසුරුවන පමණට ය. “ව්‍යාකරණය නම් භාෂා නීතිය යි” යනුවෙන් ව්‍යාකරණ විවරණ සංඥාපනයේ සඳහන් කළේ ද බස අයාලේ යා නොදී රැක ගැනීමට නම් ව්‍යාකරණය නමැති භාෂා නීති මඟින් එය පාලනය වියැ යුතු බව අවධාරණය කරනු පිණිස යැ යි සිතිය හැකි යි. භාෂාව ඉගැනීමට නම් වියරණ දැනුම අත්‍යවශ්‍ය බව කුමාරතුංගයන් ගේ පිළිගැනීම විය. “ව්‍යාකරණය නැති වැ භාෂාව උගත හැකි ය යි කියන්නෝ ද වෙති. ඔහු මුසාවක් මැ කියති,” යනුවෙන් ව්‍යාකරණ විවරණයේ සංඥාපනයෙහි පළ කැරැ ඇති අදහසින් භාෂාව ඉගැනීම නම් වියරණය ඉගැනීම ය යි කියන තරමට එතුමන් වියරණය කෙරෙහි දැඩි ස්ථාවරයක පිහිටා සිටියකු බව වටහා ගත හැකි යි. මේ ආකල්පයෙහි පිහිටා සිටින කුමාරතුඟු මඟ අගයන හෙළ හවුලේ ඇතුළත්තු ද බස නොනැසී රැකැ ගැනීමට නම් වියරණය කෙරෙහි විශේෂ ඇල්මෙකින් එය හැදෑරිය යුතු බවත්, නව පරපුරට ඒ දැනුම ලබාදීමට කැප වී ක්‍රියා කළ යුතු බවත් වටහා ගෙන සිටිති. මෙ කරුණ මැනැවින් වටහා ගත්තකු බව පෙනෙන මාර්ටින් වික්‍රමසිංහයන් සිය 'ජපන් කාම කතා හෙවණැල්ල' නමැති විචාර ග්‍රන්ථයෙහි සඳහන් කැර ඇති “හෙළ හවුලෙහි නායකයා වූයේ භාෂා සාහිත්‍යයෙහි හසළ බුද්ධිය ඇති මුනිදාස කුමාරතුංග” බවත්, “හෙළ හවුලෙහි ශ්‍රාවකයන් ගෙන් වැඩි දෙනා වියරණය හා බස් වහර විසින් ද හික්මවනු ලැබූවන්” බවත් සඳහන් කැර, “කුමාරතුංග ගේ අනුගාමිකයන් වියරණය ගැන අවුරුදු තිහක්-හතළිහක් පමණ සටන් කළ ද වියරණය මරමින් ලියන ලේඛකයන් පමණක් නො ව, අව්‍යක්ත පදයෝජනය පවා නව නිර්මිත භාෂා රීතියක් ලෙස හඳුන්වන ඇදුරෝ ද ඒ රොඩු බස් රීතිය අනුකරණය කරන ලේඛකයෝ ද පෙර නොවූ පරිදි වැඩි වූ හ,” යනුවෙන් කැරැ ඇති ප්‍රකාශයෙන් වටහා ගත හැකි යි. බසෙහි වියරණය හා හෙළ හවුලින් වියරණයට ඉටු වූ මෙහෙය පිළිබඳ මෙ වන් කරුණු කීපයක් සඳහන් කළේ ඒ සඳහා කැප වී ක්‍රියා කළ වියතුන් ඒ කාර්යයෙහි යෙදුණේ කවර පදනමක පිහිටා ද යන්න පිළිබඳ නිරවුල් අවබෝධයක් ආධුනිකයනට පැහැදිලි කැර දීමේ පූර්විකාවක් වශයෙනි. භාෂාවෙහි වියරණය සම්බන්ධ ව හෙළ හවුලේ වියතුන් ගත් ක්‍රියාමාර්ග විමසා බැලීමේ දී මුලින් මැ අවධානය යොමු වනුයේ කුමාරතුංග මුනිදාසයන් ඒ වෙනුවෙන් ඉටු කළ මෙහෙය පිළිබඳ වැ යි. අකුරු කරණය සඳහා එතුමන් ලියූ 'අකුරු සැහැල්ලේ' පටන් පාසල් සිසුන් සඳහා ලියූ 'කුමාර ව්‍යකරණය' වැනි සරල වියරණ පොත් ඉක්මවා 'ක්‍රියා විවරණය', 'ව්‍යාකරණ විවරණය' වැනි විග්‍රහාත්මක වියරණ පොත් දක්වා පළ කැර ඇති වියරණ පොත් සියල්ල පාහේ එතෙක් සාම්ප්‍රදායික වැ පිළිගෙන ආ මතවාද ඉක්මවා ගිය නවමු අදහස්වලින් පිරිපුන් ව්‍යාකරණ ග්‍රන්ථ වශයෙන් හඳුන්වා දිය හැකි යි. ඒ ගණයට අයත් ග්‍රන්ථ අතුරෙන් මුල් කෘතිය හැටියට සැලැකෙන 'ක්‍රියා විවරණය' සිංහලයේ ක්‍රියා පදය පිළිබඳ එතෙක් කිසිවකු නුදුටු කරුණුවලින් අනූන ග්‍රන්ථයක් වශයෙන් හැඳින්විය හැක්කෙකි. “අලුත් ගතෙකි, අලුත් පිළිවෙළෙකි, අලුත් මත බෙහෙවි. මත අලුත් වුව ද පෙරැ යෙදුම් මතැ නැඟිණි,” යනුවෙන් එහි හැඳින්වීමෙහි සඳහන් වැකි කීපයෙන් ම ඒ වෙසෙසියාව හඳුනා ගත හැකි යි. සිංහලයේ සියලු ක්‍රියා පද වරනැ‍ඟෙන රටාව අනුව බල, බම, බණ, පිහිට, රක්, බස් යනුවෙන් ගණ හයකට බෙදා ඒ එක් එක් ගණයට අයත් ක්‍රියා අකර්මක, සකර්මක, පරස්මෛ පද, ආත්මනේය පද, උභය පද, කර්මකාරක, ප්‍රයුක්ත ක්‍රියා ආදි වශයෙන් වරනැ‍ඟෙන ආකාරය විග්‍රහ කැර දක්වා ඇති මෙහි කරුණු ඉක්මවා යන වෙනත් කෘතියක් මෙතෙක් පළ නොවීමෙන් ම එහි විශේෂත්වය වටහා ගත හැකි යි. ඉන් අනතුරු ව කුමාරතුංගයන් විසින් පළ කැරුණු 'ව්‍යාකරණ විවරණය' සිංහල වියරණය පිළිබඳ මෙතෙක් ලියැවී ඇති අග්‍රගණ්‍ය ව්‍යාකරණ ග්‍රන්ථය බවට විද්වත් හැම දෙනා ගේ මැ පාහේ සම්භාවනාවට පාත්‍ර වූ කෘතියක් වශයෙන් අවිවාදයෙන් පිළිගැනෙන්නෙකි. යට සඳහන් ක්‍රියා විවරණයෙහි අඩංගු කරුණු ද අන්තර්ගත කොට භාෂාවෙහි ඇති අකුරු, පද, වැකි යන මූලිකාංග පිළිබඳ ගැඹුරින් විග්‍රහ කරමින් ලියා ඇති මේ ග්‍රන්ථය එතෙක් සිංහලයට පැවැති අඩුව සපුරා ලූ අංග සම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථය වශයෙන් හඳුන්වා දිය හැකි යි. විශේෂයෙන් එහි නාම යෝග්‍ය කරණය යටතේ දක්වා ඇති වර්ගීකරණය එතෙක් කිසිදු වියරණ ඇදුරකු නුදුටු පදනමෙකින් දක්වා ඇති ආකාරය දකින විට ග්‍රන්ථයේ සංඥාපනයෙහි සඳහන් “අපි මෙහි ලා අප ගේ භාෂාව ම ප්‍රමාණ කළම් හ” යන නොවහල් මෙන් ම ස්වාධීනත්වයේ පදනම ද එක් වරම සිහියට නැ‍ඟෙයි. සිදත් සඟරා වියරණය අනුයමින් ඒ දක්වා සිංහලයේ නාම, විභක්ති නවයෙක වරනැ‍ඟෙන බවට පිළිගෙන තිබූ මතය මුළුමනින් ම සාවද්‍ය බව පැහැදිලි කරමින් උපරිම වශයෙන් විභක්ති සයක සීමාව තුළ සිංහල භාෂාවේ නාමය වරනැ‍ඟෙන බව හෙළි කරමින් දැක්වූ නවමු මතය එහි ලා විශේෂයෙන් සඳහන් කළ යුත්තෙකි. මෙවන් නව මත රැසක් ක්‍රියා විවරණයෙන් හා ව්‍යාකරණ විවරණයෙන් හෙළි කිරීමට කුමරතුඟුවනට සවිය ලැබුණේ විශේෂයෙන් සිදත් සඟරාව විමර්ශනාත්මක ව අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනැ යි සිතිය හැකි යි. සිදත් සඟරාවේ සියලු කරුණු විමර්ශනාත්මක ව අධ්‍යයනය කොට රැස් කැරැ ගත් කරුණු අනුව ලිවීම ඇරඹූ 'සිදත් සඟරා විවරණයේ' මුල් අදියර පහ පමණෙකි ඔවුන් අතින් සැකැසුණේ. සමස් අදියරේ කම් විබත්, සමස් දක්වා ලියැවුණු ඒ කොටසට අමතර ව එතුමන් ගේ ම මඟ යෙමින් ඒ අදහස් පදනම් කැර ගෙන එතැන් සිට එහි දොළොස් වන කොටස වූ ලකර අදියර දක්වා වූ අවසන් කොටස අමරසිරි ගුණවඩුවන් විසින් සපුරා නිම කැර ඇති නිසා කුමරතුඟු මත පදනම් කැරැ ගනිමින් ලියූ සිදත් සඟරා විවරණයක් දැන් අපට ලැබී ඇත. එහි ප්‍රතිඵලය වූයේ සිංහලයට ඇති එක ම අංග සම්පූර්ණ ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාව බවට පිළිගෙන තිබූ මතයට තදබල පහරක් එල්ල වීම යි. ඊට අමතර වැ දරුවනට බස ඉගැන්වීම සඳහා පළ කරන ලද 'කුමාර ව්‍යාකරණය' ද වියරණය සඳහා මැ කුමාරතුංගයන් පළ කළ පොතක් වශයෙන් හඳුන්වා දිය හැකි යි. ඊට අමතර වැ වෙනත් විෂයයන් සඳහා ඔවුන් පළ කළ පොතපතින් ද වියරණයට අදාළ කරුණු රැසක් ඉදිරිපත් කැරැ ඇත. විශේෂයෙන් පැදි පබඳ අරමුණු කැරැ ගනිමින් ඔවුන් පළ කළ 'විරිත් වැකිය' මේ සඳහා දිය හැකි කදිම නිදසුනක් වශයෙන් දැක්විය හැකි යි. පිටු 222ක් පමණ වූ ඒ ග්‍රන්ථයෙහි අකුරු විට, වැකි විට, පද විට, පද සබඳ විට, තැන් විට, පද සැඳැහුම් විට වැනි මැය යටතේ අකුරෙන් පටන් ගෙන පද, වැකි, පද ගැළැපුම් වැනි වියරණයට අදාළ කරුණු රාශියක් පැහැදිලි කිරීමට පිටු 64ක් පමණ වෙන් කැර තිබීමෙන් ම එය කවර පබඳෙක දී වුව නිසි වියරණ දැනුමෙන් යුතු ව ම ඒ කාර්යයට අතගැසිය යුතු බව අවධාරණය කිරීමට ගත් වෑයමක් වශයෙන් පෙනී යනු ඇත. විරිත් වැකියේ එන වියරණ කරුණු දකින විට කැපී පෙනෙන විශේෂයක් ගැන සඳහන් නොකැර මැ බැරි ය. කුමාරතුංගයන් ගේ සෙසු වියරණ පොත්හි එන නාම, ක්‍රියා, ලිංග, පුරුෂ, නිපාත, නපුංසක ලිංග වැනි සකු වදන් වෙනුවට එහි නමුපද, පුමනමු, ඉතිරිනමු, නිපුස්නමු, හෙළි (නිපාත) වැනි හෙළ වදන් යොදා ඒවා පැහැදිලි කරන තන්හි දී ද 'ගිණි දෙකෙක් වේ', 'එක බස, බුහු බස යැ යි වහර එ දෙකට බෙදේ,' ආදි වශයෙන් ඒ කරුණු දැක්වීම් ද හෙළ වදනින් ම කැරැ ඇති බව දක්නට ලැබීම යි. 'හෙළ හවුළ වියරණය වෙනුවෙන් ඉටු කළ මෙහෙය' වැනි මැයක් යටතේ කෙටි ලිපියක් සපයද්දී කුමාරතුංග මුනිදාසයන් පිළිබඳ මෙ තරම් කරුණු ඉදිරිපත් කළේ මන්ද යන්න ප්‍රශ්නයක් විය හැකි යි. ඊට දිය හැකි කෙටි පිළිතුර නම් කුමාරතුංග මුනිදාසයන් හෙළ හවුලේ සමාරම්භකයාණන් වීමත්, එදා සිට මේ දක්වා එහි ඇතුළතුන් බවට පත් වූ බොහෝ දෙනා එතුමන් ගත් මඟ පෙරට ගෙන යෑමට කැප වී සිටින්නන් වීමත්, ඔවුන් එතුමන් පොත පතින් හා සුබස වැනි හෙළ හවුලේ සඟරා මඟින් පළ කළ අදහස් ඉතා විමැසිල්ලෙන් පිරික්සා බලමින් රටට දීමට දීමට කැප වී සිටීමත්, එතුමන් ගෙන් පසු වැ වුව ද ලියන කියන ඇතුළතුන් බොහෝ විට එතුමන් ගේ අදහස් උදහස් කෙරෙහි විශේෂ සැලැකිල්ලෙකින් අවධානය යොමු කරමින් සිය කාරිය කැරැ ගෙන යන බව දක්නට ලැබීමත් වැනි විශේෂ කරුණු එහි ලා විශේෂයෙන් බල පෑ බව යි. කුමාරතුංගයන්ගේ අගසවුවකු වශයෙන් ඇතැමකු විසින් හඳුන්වනු ලබන අමරසිරි ගුණවඩුවන් ගෙන් ඉට‍ු වුණු නොමියෙන සේවාවක් වශයෙන් කුමාරතුංගයන් ඇරැඹූ සිදත් සඟරා විවරණයේ අවසන් භාගය සපුරාලීම කාගේත් විශේෂ අවධානයට යොමු වූවෙකි. මාර්ටින් වික්‍රමසිංහයන් පළ කළ 'මඩොල් දූව' නමැති ග්‍රන්ථයෙහි දැක්වෙන වියරණ දොස් ඇතුළු බස් දොස් හෙළි කරමින් 'මඩොල් දූවේ හැටි' නමින් පිටු 191කින් යුත් පොතක් පළ කිරීමෙන් ඔවුන් ඉටු කළ කාර්යය ගුරුන් සිසුන් ඇතුළු අධ්‍යාපන බලධරයන්ගේ ද නොමඳ අවධානයට යොමු වූවක් වශයෙන් දැක්විය හැක්කෙකි. “සියලු පාසල් දරුවන් උගත යුතු නිවැරැදි බස! සරල බස! මිහිරි බස!” යනුවෙන් හැඳින්වීමක් කරමින් පළමුවන, දෙවන, තුන්වන, සතරවන හා පස්වන යනුවෙන් නම් කැරැ වෙන් වෙන් වශයෙන් ඔවුන් පළ කළ 'සිංහල රාජ මාර්ගය' නමැති පොත් පෙළ එවක ඉගැන්වීම් තතු දත් සියලු වියතුන් අගය කළ පොත් පෙළක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වැ තිබිණි. ඒ හැරෙන්නට 'සද්ධර්මරත්නාවලී පෙහෙළිය', 'කුස ජාතක පෙහෙළිය', ලෝවැඩ සඟරාව වැනි පැරැණි පොත් කියවා තේරුම් ගැනීමට පහසු වන අන්දමේ ලිහිල් විවරණ මඟින් පාසල් සිසුන් අතට පත් කිරීමට ගත් පියවර ද පාසල් සිසුන්ගේ නිවැරැදි බස් වහර පිළිබඳ දැනුම වර්ධනය කැරැ ගැනීමට මං පෑදීමක් වශයෙන් අගය කළ හැක්කෙකි. හෙළ හවුලේ නයුවකු වශයෙන් ද පෙනී සිටි රැ. තෙන්නකෝනුන් ගේ පතපොත නිසා හෙළ හවුලට ලැබුණු එළිය සුළුපටු නො වේ. එතුමන් පළ කළ 'සිදත් සඟරා වියකන' සිදතේ එන එක් එක් ගීයක් පාසා ඊට අදාළ අරුත් විග්‍රහ කරමින් ලියූ අගනා විවරණ ග්‍රන්ථයක් වශයෙන් කාගේත් සම්භාවනාවට පාත්‍ර වන්නෙකි. එතුමන් වියරණය යන්නෙහි අරුත විග්‍රහ කරමින් දක්වා ඇති හැඳින්වීම මෙහි ලා විශේෂයක් වශයෙන් මතක් කැරැ දිය යුත්තෙකි. “වියරණ යන්නෙහි අදහස නම් විබා කොටැ දැක්වීම යි. ඒ වනාහි සංස්කරණ යන්නෙහි අනෙක් අරුත යි.” කුමාරතුංගයන් “වියරණය නම් භාෂා නීතිය යි,” යනුවෙන් කළ හැඳින්වීමට ඉඳුරා වෙනස් මඟක් ගෙන පළ කළ මේ අර්ථකථනයෙන් තෙන්නකෝනුන් වියරණය දකින්නේ කෙසේ ද යන්න වටහා ගත හැකි යි. මේ පදනමෙහි පිහිටා ඔවුන් ලියූ වියරණ පොත් අතර කැපී පෙනෙන'හොඳ සිංහල' (උසස් පොත) මුහුකුරා ගිය මනසින් යුත් ආධුනිකයන් සඳහා පළ කරන ලද්දෙකි. අකුරේ පටන් පද, වැකි ආදි කරුණු ඔස්සේ නිවැරැදි ලේඛනයට අවශ්‍ය සියලු කරුණු මන වැ විග්‍රහ කැරැ ලියා ඇති මෙය 'හොඳ සිංහල' ඉගැනීමට කැමැති ආධුනිකයනට මහඟු අත්වැලක් වශයෙන් හැඳින්විය හැක්කෙකි. හෙළ හවුලේ නයුවකු වශයෙන් ද කටයුතු කළ දිවයිනේ වැඩ සිටි අග්‍රගණ්‍ය පඬිරුවනක් වන පූජ්‍ය කෝදාගොඩ ඤාණාලෝක හිමිපාණන් හෙළ හවුලේ ඇතුළතකු වශයෙන් පෙනී සිටිමින් විශේෂයෙන් බසෙහි වියරණය උදෙසා කැර ඇති මෙහෙයෙහි විශේෂත්වයක් දැකිය හැකි යි. හෙළ හවුලේ බොහෝ වියතුන් කුමාරතුඟුන් ගත් මඟ ඉක්මවා යෑමට මැළිකමක් දැක්වුව ද කෝදාගොඩ ඤාණාලෝක හිමිපාණන් කුමරතුඟු මතය වුව තම මතය හා නොගැළැපේ නම් ඒ වෙනුවෙන් කරුණු දැක්වීමට නොබා ඉදිරිපත් වූවකු වශයෙන් කැපී පෙනෙන්නෙකි. කුමාරතුඟුන් ගේ ව්‍යාකරණ විවරණයේ එන වැකියෙක “ස්ත්‍රී ලිංග උක්තය ඒක වචන වුව ද එහි ආඛ්‍යාතය අතීත කාලයට අයත් නම් එය බහුවචනයෙන් සිටී,” යන මතයට උන් වහන්සේ එකඟ නොවන බව පළ කරමින් දැක්වූ අදහස් විවාදයක් දක්වා දිග් ගැස්සී ගිය ආකාරය මීට නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය. සුබස සඟරාව මඟින් මෙන් මැ වෙනත් මුද්‍රිත මාධ්‍ය මඟින් ද සිදු කැරුණු මේ වාදයට කුමාරතුංගයෝ ද සම්බන්ධ වූ හ. විවිධ සඟරාවල පළ වූ මේ වාදයට අදාළ කරුණු රැසක් 'විදුලකර' සඟරාවේ 1961 සැප්තැම්බර් කලබේ 'කතක් මහ සතු සෙලින් හෙළූ' යන මැයෙන් නා හිමියන් පළ කළ ලිපියෙක ද සඳහන් වී තිබිණි. කෙසේ වුව ද ඤාණාලෝක හිමිපාණන් ඉදිරිපත් කළ මතය උන් වහන්සේ ගෙන ඇරැ පෑ නිදසුන් සහිත කරුණුවලින් සනාථ වන බව බොහෝ දෙනාට පිළිගන්නට සිදු විය. වෙනත් කරුණු සම්බන්ධයෙන් ද කුමරතුඟුන් දැක්වූ ඇතැම් අදහස් නිසා ඇති වූ වාදවිවාද විටින් විට දක්නට ලැබිණි. එය හෙළ හවුලේ වියතුන්ගේ ස්වාධීනත්වය පෙන්නුම් කිරීමට දැක්විය හැකි සාක්ෂ්‍ය වශයෙන් ඉදිරිපත් කළ හැකි තැන් ය. මෙයින් වටහා ගත යුතු වැදගත් මැ කරුණ නම් “දෙවියකු කී දැයක් වත් කරුණු නැති වැ නො අදහවු” යනුවෙන් කුමරතුඟුන් ඉදිරිපත් කළ අදහස අනුව ම එතුමන් පළ කළ මතවලට පවා එදිරි වැ හෙළ හවුලේ අය නොසැලී ඉදිරිපත් වී ඇති බව යි. ඒ අනුව හෙළ හවුල අවිචාරයෙන් කුමාරතුඟුන් පසුපස යන පිරිසකගේ සංවිධානයක් බවට ඇතැමුන් කරන චෝදනා සාවද්‍ය බව මෙ වන් කරුණුවලින් සනාථ කැරැ ගත හැකි යි. කෝදාගොඩ හිමිපාණන් ගෙන් වියරණයට ඉටු වූ මෙහෙය පිළිබඳ කරුණු දැක්වීමක දී උන් වහන්සේ අමාවතුරට ලියූ විවරණයේ ප්‍රථම භාගයෙහි 'අමාවතුරු පිරියෙස්ලි' නමින් පළ කැරැ ඇති විචාරාත්මක නිබන්ධයෙහි ඇතුළත් කරුණු කිසි සේත් අමතක කළ හැකි නො වේ. හෙළ හවුලේ නයුවකු වැ සිටි අලවු ඉසි සැබිහෙළයන් ගෙන් වියරණයට ඉටු වූ සේවාවෙහි විශේෂතා කීපයෙක් පෙනේ. ඔවුන් පළ කැරැ ඇති 'නාම විවරණය' ඒ කරුණට අයත් එක මැ ග්‍රන්ථය වශයෙන් හැඳින්විය හැකි යි. 'පශ්චාත් ශ්‍රේණි සඳහා' යනුවෙන් සඳහන් කැරැ ඇති එහි නාම ගණ වශයෙන් වෙන් කොට විබත් ගන්නා ක්‍රමය අනුව ආ, ඕ ගණය, ආ, උ, හු ගණය, අ, ඉ ගණය, ආ වරු ගණය, හු ගණය, එන් ගණය ආදි වශයෙන් වෙන් කොටැ බෙදා දැක්වීමේ ක්‍රමයක් මින් පෙර නො වී යැ. 'අව්‍ය පද විවරණය' නමින් ඔවුන් පළ කැරැ ඇති කෘතියෙන් ද සියලු අව්‍ය පද නිදසුන් වශයෙන් දක්වා, ඒවා යෙදෙන ආකාරය ද නිදසුන් මඟින් පෙන්නා දී ඇති ආකාරය වටහා ගත හැකි යි. නිපාත වෙනුවෙන් ලියූ මෙවන් කෘතියක් මින් පෙර නොවීම ද මෙහි විශේෂත්වය වටහා ගැනීමට ප්‍රමාණවත් ය. තවත් කියැ යුතු විශේෂ කරුණක් නම් නාම විවරණයේ සියලු සිප් වදන් උගුරු අකුරු, තලු අකුරු, මුදුන් අකුරු, දතු අකුරු, තොලු අකුරු, උගුරු තොලු අකුරු, උගුරු තලු අකුරු වැනි නම් හෙළ වදන් වලින් හඳුන්වා තිබීම ය.ඒ හැරෙන්නට මතභේදයට තුඬු දෙන වියරණ කරුණු පිළිබඳ පුවත්පත් මඟින් හා සඟරාවලින් ඔවුන් හෙළි කැරැ ඇති කරුණු බොහෝ වියතුන්ගේ විශේෂ අවධානයට යොමු වූ බව අමතක නො කළ හැක්කෙකි. හෙළ හවුලේ නයුවකු වශයෙන් මෙන් මැ කීර්තිමත් විද්වතකු වශයෙන් ද නම පතළ ගුණපාල සේනාධීරයන් හෙළ වියරණය වෙනුවෙන් ඉටු කැරැ ඇති සේවය මෙවන් හැඳින්වීමෙකින් කළ නොහැක්කෙකි. පුවත්පත් මඟින් හා සඟරා මඟින්, වියරණය පිළිබඳ විවිධ විවාදාපන්න ලිපි මඟින් වියරණ ගැටලු විසඳා ලීමට මඟ පෑදීමෙන් අගනා මෙහෙවරක් කළ සේනාධීරයන් 1984 වසරේ 'නිවැරැදි වහර' නමින් පළ කළ කෘතිය පාසල් ගුරුන්, සිසුන් ඇතුළු බොහෝ දෙනා අතර ව්‍යාප්ත වූ ග්‍රන්ථයක් වශයෙන් හැඳින්විය හැක්කෙකි. එය බොහෝ දුරට කුමරතුඟුන්ගේ ව්‍යාකරණ විවරණයෙහි එන කරුණු සරල බසින් ඉදිරිපත් කිරීමට ගත් වෑයමක් ලෙස ද හැඳින්විය හැකි කෘතියෙකි. එමතු දු නො ව, 1940 වසරේ ජනවාරි 'සුබස' කලබෙහි පළ කළ 'මම් මැ වේදය' නමින් පළ කළ ලිපිය ඉතා අගනා පිරියෙසුමක් ලෙස ද ඇගැයීමට ලක් වූවෙකි. පැරැණි පොත්හි එන “මම් මැ වේ දැ යි” යන යෙදුම නිවැරැදි වන්නේ ද යන්න පිළිබඳ ගැටලුව එ මඟින් විමැසුමට ලක් කැරිණි. එ මතුදු නො ව, ඔවුන් කටැ හා ගතැ හා වහර යනුවෙන් 1940 ජූලි 'සුබස' කලාපයෙන් කටවහර පිරිසුදු බවට පමුණුවා වහරට ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ අගනා විමැසුමක් කැර තිබේ. කෝදාගොඩ ඤාණාලෝක හිමි පාණන් මතු කළ යට සඳහන් ස්ත්‍රී ලිංග අතීත ආඛ්‍යාතය පිළිබඳ වාදයේ දී විවාදයට බට වියතුන් අතුරෙන් සේනාධීරයන් කැපී පෙනෙන තැනෙක සිටි බව ද මෙහි ලා සඳහන් කරනු කැමැත්තෙමි. හෙළ හවුලේ පුරෝගාමි නයුවකු වැ සිටි අරීසෙන් අහුබුදුවන් විසින් වියරණය අලළා 'දෙටු රුකුල' නමින් පළ කළ ග්‍රන්ථය පොදු සහතික පත් සෝදිසියේ සිංහල පැන පතට අත්වැලක් වශයෙන් පළ කරන ලද්දෙකි. පබඳ වග, වැකි රීති, විදහා ලිවීම වැනි විශේෂ මාතෘකා කීපයක් ඔස්සේ කරුණු පහයමින් ලියූ මේ ග්‍රන්ථය වෙසෙසින් මැ පාසල් සිසුන්ගේ බස් දැනුම වැඩීම අරමුණු කැරැ ගෙන ලියූවක් බව පැහැදිලි යැ. 1958 වසරේ එතුමන් පළ කළ සිංහලයේ පද යෙදුම නම් කෘතිය ද ඒ පිළිබඳ පැවැති ගැටලු ලිහා ගැනීමට මං පෑදූ කෘතියක් වශයෙන් අගය කළ හැක්කෙකි. ඊට අමතර වැ යොවුන් ජනතා පත්‍රයේ පළ කළ ලිපි එකතුවක් වශයෙන් පළ කළ 'දොඩන සුබස' නමැති ග්‍රන්ථය නිවැරැදි කට වහරක් හඳුන්වා දීමට ලියන ලද්දක් වශයෙන් ද කැපී පෙනෙන්නෙකි. හෙළ හවුලේ ඇතුළතකු වශයෙන් ලිපි ලේඛන මඟින් විශාල සේවාවක් කළ ජයසේකර අබේරුවනුන් පළ කළ 'ජ්‍යෙෂ්ඨ සිංහලය' නොකියැවූ ඉහළ පෙළේ පාසල් සිසුවකු හෝ බස උගන්වන ගුරුවරයකු හෝ සිටිති යි සිතිය නොහැකි ය. ඒ තරමට මැ ජනප්‍රිය වූ ඒ වියරණ පොත ව්‍යාකරණය විවරණය ඇතුළු කුමරතුඟුන් පළ කළ පොතපත හා ලිපි ලේඛන ඇසුරෙන් සම්පාදනය කරන ලද්දෙකි. සරසවි මහ ඇදුරුතුමකු මෙන් මැ හෙළ බස පිළිබඳ විශාරදයකු වශයෙන් රටේ නම පතළ මහාචාර්ය විනී විතාරණයන් හෙළ හවුලට මේ වන විටත් සවිය දෙමින් බස වෙනුවෙන් ම කැප වූ මහ වියතකු වශයෙන් හැඳින්විය හැක්කෙකි. එතුමන් පළ කළ වියරණ පොත් අතර 'පදය, වාක්‍යය සහ ඡේදය' යන වියරණ පොත නිවැරැදි බස් වහර හදාරනු කැමැති හැමට මැ නිතර භාවිතයට ගත හැකි අත්පොතක් වශයෙන් ද හඳුන්වා දිය හැක්කෙකි. 'නිවරද නිරවුල් පබ‍ඳෙහි අත්වැල' යනුවෙන් එහි මුල් පිටුවේ මැ සඳහන් හැඳින්වීම අප දැක්වූ අදහස තව තවත් තහවුරු කරන්නෙකි. හෙළ හවුලේ වියත් ගත්කරුවකු වන කලාවිදු එ.වි. ගුණපාලයන් 'හෙළ වියරණ මඟ' පහයනු වස් හෙළ ඌරුව, ක්‍රියා පදයන්ගේ අරුත් විසඳීම, විභක්ති යෝගය අක්ෂර වින්‍යාසය, අඛ්‍යාත වර නැඟීම, ප්‍රකෘති, සන්ධි, තද්ධිත ආදි කරුණු පැහැදිලි කරමින් ලිවීමේ දී ඒ ඒ කරුණෙහි ලා දක්නට ලැබෙන බස් දොස් විග්‍රහ කැර ලියා ඇති 'හෙළ වහර' නමැති ග්‍රන්ථය ද ආධුනිකයනට පමණක් නො වැ, වියතුනට ද බොහෝ කරුණු උගත හැකි කෝෂ ග්‍රන්ථයක් වශයෙන් හැඳින්විය හැක්කෙකි. සිංහලයේ ණ, න, ළ, ල අක්ෂර භාවිතය පිළිබඳ නිවැරැදි මඟ පහයමින් හෙළ හවුලේ හිටපු නයුවකු වන අනඳපිය කුඩාතිහියන් විසින් ලියන ලද 'ණ න ළ ල යෙදුම' නමැති කෘතියත්, කො.ප. සුසිතුන් ගේ 'ණ න ළ ල පියොවත්', දහම් සිරි කුමාරතුංගයන්ගේ 'නිවැරැදි ණ න ළ ල යෙදුමත්', මේ ලියුම්කරු පළ කැරැ ඇති 'ණ න ළ ල වදන්' අකාරාදිය හා සිංහල අක්ෂර වින්‍යාසය නමැති ග්‍රන්ථත් ආධුනිකයනට නිවැරැදිව ලිවීමට මඟ පෙන්වන කෘති වශයෙන් හඳුන්වා දිය හැකි යි. මේ ලේඛකයා පළ කැර ඇති 'සිංහල ව්‍යාකරණය' නමැති ග්‍රන්ථය ද මේ සමඟ ම සඳහන් කළ යුත්තෙකි. හෙළ හවුලේ වත්මන් නයු ශ්‍රීනාත් ගණේවත්තයන්, සිංහලයේ උපකාරක ක්‍රියාව, ’ කාර ව්‍යවහාරය, සිංහලයේ ක්‍රියා පදය, වියරණයෙහි වෙසෙසි යෙදුම් වැනි මාතෘකා පහක් පිළිබඳ විවරණයෙක යෙදෙමින් ලියා පළ කැර ඇති 'වියරණ ලිපි' නමැති ග්‍රන්ථය ද ආධුනිකයනට පමණක් නො වැ, විද්වතුනට ද බෙහෙවින් ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වශයෙන් හැඳින්විය හැක්කෙකි. ඔවුන් ගේ 'අක්ෂර ශික්ෂාව' නමින් පළ වී ඇති කෘතියෙන් අකුරු පිළිබඳ වැ කැරැ ඇති විමර්ශනය මෙන් මැ 'සිංහල අක්ෂර වින්‍යාසය' නමින් පළ කැරැ ඇති අත්පොතින් සිංහලයේ අකුරු පිළිබඳ වැ දක්වා ඇති කරුණුවලින් ද නිවැරැදි වැ ලියන්නට කැමැත්තවුනට ගත හැකි ආදර්ශ අතිමහත් බව සඳහන් කළ හැකි යි. හෙළ හවුලේ නයුවකු වැ සිටි මහා භාෂා විශාරදයකු වශයෙන් නම පතළ අ.දො. චන්ද්‍රසේකරයන් ගේ 'හරි මඟ', 'කව් සිළුමිණි සිංහලය' වැනි පොත්වලින් මතු කළ කරුණු හෙළ හවුලේ වියතුන්ගේ විස්මකුරු භාෂා ඥානය රටට මැ කියා පෑ සාධකයක් වශයෙන් බොහෝ දෙනා ගේ ඇගැයීමට ලක් වූ බව පෙනිණි. හෙළ හවුලේ හිටපු සකසුරුවකු වන හේමසිරි කුමාරණතුංගයන් පළ කළ 'සිංහල අකුර' නමැති ග්‍රන්ථය ද අගනා ශාස්ත්‍රීය නිබන්ධයක් වශයෙන් කැපී පෙනෙන්නෙකි. එමෙන් ම හෙළ හවුලේ හිටපු සකසුරුවකු වන දො.පි.දෙ.කො. දසනායකයන් පළ කළ විවිධ පොත් අතුරෙන් අරීසෙන් අහුබුදුවන් ගේ ඇගැයුමට ද පාත්‍ර වූ කෘතියක් වශයෙන් 'අපට නිතර වරදින අකුරු' නමැති ග්‍රන්ථය විශේෂයෙන් නිවැරැදි අක්ෂර වින්‍යාසය පදනම් කැරැ ගනිමින් ලියූවෙකි. එය බෙහෙවින් මැ ආධුනික ලේඛකයනට සැපැයූ අගනා අත්වැලක් වශයෙන් හැඳින්විය හැක්කෙකි. හෙළ හවුලේ විද්වතකු වූ දි.වි. රිචඩ් සිල්වාණන් බස හා වියරණය වෙනුවෙන් පළ කළ පොත් අතර කැපීපෙනෙන ග්‍රන්ථ කීපය අතරින් 'සියබස් වත' නමැති කෘතියෙන් පළ කළ අදහස් කීපයක් පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් යැ යි සිතේ. වියරණය පිළිබඳ කරුණු රැසක් ඉන් ඉදිරිපත් කැරැ කටවහර, ඇ යන්න, යල් පීනූ බස, පුවත්පත් බස, සඳ, සමස්, වඳ පවතුව, වියරණ ඌරුව, හුදු හෙළුව වැනි ඉසවු 16ක් ඔස්සේ නිවැරැදි බස් වහර දක්වනු වස් ඉදිරිපත් කැර ඇති කරුණු එහි ලා විශේෂයෙන් සඳහන් කළ හැකි ය. මෙහි සැකෙවින් සඳහන් කළේ වියරණයට අදාළ පොතපත සැකැසූ හෙළ හවුලේ වියතුන් කීප දෙනකුගෙන් ඉටු වූ සේවාව පමණෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *