නිසි ලෙස නොවිමැසුණු හෙළ හවුල් කවි මඟ

ශ්‍රීනාත් ගණේවත්ත කාව්‍ය යනු ඉතා පුළුල් අරුතක් හඟවන වදනෙකි. සියලු කලාවල පදනම වනුයේ කාව්‍යාත්මක භාවය යි. එ වුව ද, කාව්‍ය නාමයෙන් විශේෂයෙන් හැ‍ඟෙන්නේ සාහිත්‍යාත්මක වූ කලාව යි. ‘වාක්‍යං රසාත්මකං කාව්‍යං’, ‘ශබ්දාර්ථෞ සාහිතෞ කාව්‍යම්’ වැනි අර්ථකථනවලිනුදු එ බව මැනැවින් විශද වේ. කල් යත් ම, මේ ‘කාව්‍ය’ යන්නෙහි අර්ථය තව ද පටු වැ ගැන්මෙන් පද්‍යය ම - ඡන්දසින් නිබද්ධ වූ කාව්‍යය ම පමණක් එ නමින් ගැනෙන්නට විය. එ‍ හෙයින් අද අප කාව්‍ය, කව් නමින් ගනුයේ හුදු පැදිය ම ය. සිංහල කාව්‍යයෙහි ඉතිහාසය ඉතා ඈත අතීතයට දිවෙයි. අනුරාධපුර අවධියෙහි දු කාව්‍යකරණය - පද්‍යකරණය - මෙ රට ප්‍රචලිත වැ පැවැති බවට කොසවකන්ද, බෝවත්තෙගල ආදි ශිලා ලේඛන පවා මනා සාක්ෂ්‍ය සපයයි. මේ චිරකාලීන කාව්‍ය සාහිත්‍යය, රාජ්‍ය පාලන කාල අනුව ම අවධි කොට දක්වනු ලැබේ. සාහිත්‍යාත්මක පක්ෂයෙන් ගත් කල මේ භේදය මනෝඥ යැ යි කිය හැකි නො වේ. එහෙත් විචාරයෙහි පහසුව පිණිස කවර හෝ විභේදනයක් අවශ්‍ය වෙයි. මේ මඳක් වෙනස් වනුයේ මාතර අවධිය පිළිබඳ ව යි. එය රාජ්‍ය පාලන අවධි අතුරෙහි ලා නොගැනෙන නමුදු බොහෝ විචාරකයෝ කාව්‍ය ඉතිහාසයෙහි ලා එය වෙන ම අවධියක් කොට ගනිති. මාතර අවධියෙන් පසු වැ එළැඹෙනුයේ කොළඹ අවධිය යි. මේ වනාහි සිංහල කාව්‍යයෙහි නූතන අවධිය සේ ද දක්වනු ලැබේ. විචාරකයෝ, විචාරයෙහි පහසුව පිණිස, කාව්‍යකරණයෙහි ලක්ෂණ අනුව මේ අවධියෙහි කාව්‍ය තව ද දුරට බෙදා දක්වති. ඒ, කොළඹ අවධියෙහි මුල් සමය, එහි දෙවන සමය, හෙළ හවුල් කවිය ඈ ලෙසිනි. මෙහි ‘හෙළ හවුල් කවිය’ නමින් ගැනෙනුයේ ‘හෙළ හවුල’ නම් සංවිධානයට අයත් වන්නන් විසින් රචිත කාව්‍ය සමූහය යි. ඇතැම්හු ‘හෙළ ‍හවුල’ යනු භාෂා සාහිත්‍ය සංවිධානයක් සේ ද, ඇතැම්හු එය ගුරුකුලයක් සේ ද සලකති. එහි මුල් අරමුණු අනුව සලකන කල්හි ‘හෙළ හවුල’ යනු බස (භාෂාව), රැස (ජාතිය), දෙස (දේශය) සුරැක්මත්, දියුණුවත් පිණිස ඇති කැරුණු සංවිධානයෙකි. එහි දර්ශනය වන්නේ භාෂාව කේන්ද්‍ර කොට ගෙන ජාතියත්, දේශයත් නංවාලීම යි. එ නම්: බස මඟින් රැසත්, රැස මඟින් දෙසත් නංවාලීම යි. හෙළ හවුල් කවිය පිළිබඳ විමැසුමේ දී එහි ඇරැඹුම පිළිබඳ ව ද සැලැකිය යුතු වෙයි. එය අරඹන ලද්දේ මෙ රට පහළ වූ ශ්‍රේෂ්ඨ විද්වතකු, විශිෂ්ට බුද්ධිමතකු සේ ම ප්‍රතිභාන්විත මහා කවියකු ද වූ කුමාරතුංග මුනිදාසයන් විසිනි. ඔවුන් විසින් 1939 ජූලි මස දී ‘සුබස’ සඟරාව අරඹන ලදි. ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව ගැන ද අනෙක් සාහිත්‍ය, සංස්කෘතික, ජාතික කාරණ ගැන ද ඔවුන්ගේ අදහස්, ඔවුන් අනුදත් භාෂා රීතියෙන් මෙහි පළ කැරිණි. බොහෝ ඒ හා සම වැ ගත් අනෙක් රචකයන් ගේ ලිපි ද මෙහි පළ කැරිණි. කල් යත් ම එ බඳු බොහෝ රචකයෝ සුබසට ලිපි ලියන්නට වන්හ. මුල දී මිශ්‍ර සිංහලයෙන් පළ කැරුණු ‘සුබස’ අනුක්‍රමයෙන් පිරිසුදු, නුමුසු හෙළ බසින් පළ වත් ම ඔවුහු දු එ බස් වහර අනුයන්නට වන් හ. සුබසින් නැඟුණු බැවින් මේ රචකයෝ ‘සුබැසියන්’ නමින් හැඳින්වුණා හ‍. සුබැසියන් ගණනින් වැඩෙත් ම, බස-රැස-දෙස රැකුම, වැවුම, වැඩුම උදෙසා ඔවුන්ගේ එකතුවක්, හවුලක් පිහිටුවීම මැනැවැයි කුමාරතුංගයනට පෙනී ගියේ ය. ඒ අනුව 1941 ජනවාරි 11 වන දා හෙළ හවුල පිහිටුවන ලදි. යට දැක්වුණු පරිදි, මේ හෙළ හවුල අයත් සුබැසියන්ගේ කවි ‘හෙළ හවුල් කවිය’ නමින් හැඳින්වේ. සියලු හෙළ හවුල් කිවියන් සුබසින් බිහි වූවන් යැ යි සැලකිය හැකි නො වේ. කුමාරතුංගයන් විසින් ම ‘සුබස’ පළ කිරීමට පෙර පළ කැරුණු ‘ලක් මිණි පහන’ පුවත් පතට කවි ලියූ, පසු වැ සුබසට ද කවි ලියූ කිහිප දෙනෙක් ද හෙළ හවුල් කිවියන් අතර උසස් තැනක් ලබති‍. වරකාගොඩ සිල්රුවන් හිමි, අමරසිරි ගුණවඩු, ජයමහ වෙල්ලාල ආදීහු ඔවුන් අතර ප්‍රමුඛ වන්නෝ ය. හෙළ හවුල් කිවියන් අතර ප්‍රමුඛතමයා ලෙස ගැනෙන රැයිපියල් තෙන්නකෝන්හු ද සුබස පළ වන්නට බොහෝ කලකට පෙර සිට කාව්‍යකරණයෙහි යෙදුණු කෙනෙක් වූ හ. හෙළ හවුල් කවිය අනන්‍ය වූ ස්වාධීන ලක්ෂණ කිහිපයෙකින් සමන්විත විය. එය එකල්හි පැවැති සිංහල කාව්‍ය ලෝකයෙහි කැපී පෙනෙන වෙනසක් කරමින් විශේෂ ස්ථානයක් ලබන්නට මේ ලක්ෂණ හේතු විය. හෙළ හවුල් කවියෙහි ප්‍රමුඛතම ලක්ෂණය වූයේ එහි ලා උපයුක්ත භාෂා ව්‍යවහාරය ‍යි. එය සුබසින් අනුදත් පිරිසුදු හෙළ බස් වහර යි. කුමාරතුංග මුනිදාසයන් බොහෝ ‍තන්හි දැක්වූ පරිදි එය ‘ඔදවත් තෙදවත් පණවත්’ බස් වහරක් විය. සාමාන්‍යයෙන් (ප්‍රශස්ති කාව්‍ය ආදියෙහි හැරුණු විට) සිංහල කාව්‍යයෙහි ලා භාවිත වූයේ හුදු හෙළ බස් වහර ම ය. එ වුව ද, මෙ කල (1940 දශකය) වන කල්හි නාට්‍ය භාෂාව එ තරම් ව්‍යක්ත තත්ත්වයෙක නොතිබිණි. මේ වන විට ජනප්‍රිය වෙමින් සිටි කොළඹ කවියේ දෙ වන අවදියේ බොහෝ කවීනට සාම්ප්‍රදායික පද්‍ය භාෂාව ගැන එතරම් අවබෝධයක් නො වී ය. ඔවුන් ගෙන් ඇතැමුන් ගේ භාෂා ව්‍යවහාරය එක් පමණකට කෘත්‍රිම විය; තියුණු හැඟුම් දැනැවීමෙහි පොහොසත් නො වී ය. ඇතැම් විටෙක අව්‍යක්ත ද විය (මේ පොදු තතුව ඉක්මැවූ කුමාරගම, සාගර පලන්සූරිය වැනි කවීනුදු ව‍ූ බව සැලැකුව මනා ය). හෙළ හවුලේ කවීහු බොහෝ දුරට පුරාතන කෝට්ටේ අවධිය තෙක් වූ කාව්‍ය භාෂාවෙහි ආභාසය ලදහ. එහෙත් ඔවුන් මුළුමනින් ම එ බස් වහර යෙදූ හ යි ද කිය හැකි නො‍ වේ. අද්‍යතනයට උචිත ලෙස කව් බස් වහර හැඩ ගසා ගැන්මට තැත් ගත්තෝ ඔවුන් අතර වූ හ. කුමාරතුංග මුනිදාස, අරීසෙන් අහුබුදු, හියුබත් දිසානායක වැනි කවීහු එහි ලා ප්‍රමුඛ වැ පෙනෙති. හෙළ හවුලේ මහා කිවියාණන් වූ රැයිපියල් තෙන්නකෝන්හු තමනට අනන්‍ය කාව්‍ය භාෂාවක් නිපදවා ගැනීමට සමත් වූ හ‍. එ වුව ද ඇතැම් හෙළ හවුල් කිවියෝ හුදු අරුතට ම තැන දෙන්නට යෑම නිසා භාවික ගුණයෙන් - හැඟුම් දනවනසුලු බවින් හීන වූ භාෂා ව්‍යවහාරයකුදු යෙදූ හ. මොහොට්ටි දොණු දේවිදු, කිත්සිරි කුමාරසිංහ, කො.ප. සුසිත් වැනි කිවියන්ගේ ඇතැම් පබඳ මෙහි ලා මනා නිදසුන් වෙයි. ඔවුන් (උසස් කවිත්වයෙකින් යුක්ත වුව ද) කවීන් වශයෙන් සාහිත්‍ය ලෝකයේ එ තරම් තැනක් නොලබන්නට මෙ කරුණ හේතු වී යැ යි සිතිය ‍හැකි ය. හෙළ හවුලේ සියලු කවීන් හට පොදු ලකුණක් වූයේ භාෂාවෙහි අර්ථ ව්‍යක්තිය මෙන් ම නිරවද්‍යතාව ද ඉතා ම ඉහළින් සැලැකීම යි. එහෙයින් ඔවුන්ගේ කව් පැහැදිලි අරුතින් යුතු විය; වියරණ දොසින් තොර විය. මෙ බඳු කරුණු කාව්‍යකරණයෙහි ලා එ තරම් අවශ්‍ය නොවන බව සලකන ඇතැම් නූතන විචාරකයෝ සම්මත ව්‍යාකරණ රීති ඉක්මවා යෑමට කවීනට වරයක් ඇතැ යි ද සලකති. එහෙත් භාරතීය විචාරකයන් පවා නිරවද්‍ය භාෂාවක් කාව්‍යකරණයට අත්‍යවශ්‍ය යැ යි සැලැකූ පරිදි ‘ශබ්දස්මෘත්‍යාව්‍යාකරණෙන පදමසාධු’ යන වාමනයන්ගේ ප්‍රකාශයෙන් පෙනේ. මේ ගුණය අතින් නූතන කාව්‍ය ක්ෂේත්‍රයෙහි උසස් ම තැන ලැබෙනුයේ හෙළ හවුල කවියට යි. කාව්‍යයෙහි ප්‍රධානත්වය ලැබෙනුයේ වස්තු විෂයයට යි. එ අතිනුදු හෙළ හවුල් කවිය සිංහල කාව්‍ය ලෝකයේ කැපී පෙනෙන වෙනසක් කළ අයුරු මැනැවින් පෙනේ. කොළඹ අවධියේ මුල් කල වූ කවීහු (බොහෝ දුරට පැරැණි කව් සමය අනුව යමින්) ස්වභාවධර්ම වර්ණනා ද, ජාතිකාභිමානය, දේශවාත්සල්‍යය දනවන රචනා ද සමාජ ශෝධක රචනා ද පබැඳූහ. ‍(හෙළ හවුලේ කවීනට සමකාලීන වූ) එහි දෙ වන කල කවීහු ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය ආශ්චර්යාද්භූත ලෙසින් වර්ණනා කිරීම ද නොගැඹුරු වූ දාර්ශනික චින්තා ද එදිනෙදා සිදුවීම් ද (බොහෝ විට) ස්වකීය කාව්‍ය සඳහා පාදක කැර ගත් හ. හෙළ හවුල් කවියේ වස්තු විෂය මෙයට වඩා බොහෝ වෙනස් විය. යට දැක්වුණු පරිදි හෙළ හවු‍ලේ කවිය මතු වූයේ ‘සුබස’ සඟරාව ඇසුරෙනි. වෙසෙසින් සුබසේ කවි තරග ඇසුරෙනි. එ තරග සඳහා මාතෘකා වශයෙන් දෙන ලදුයේ කුමාරතුංගයන් ගේ ‘විරිත් වැකියේ’ ඇබෑසිවල ආධුනික කවීනට දෙන ලද මාතෘකා ය. ඒවා එතෙක් කවීනට විෂය වූ මාතෘකාවලට වඩා බොහෝ වෙනස් විය. ‘ගමනෙකින් පසු ගොනා ගෙදරවුත් එළදෙනුන් හට ගමන් විතර දෙයි’, ‘පර වන කුසුම හෙට පිපෙන කැකුළට දුන් ඔවා’, ‘හිරමනයත් පොල් බෑයත් අතර දෙ බස’ වැනි මෙබඳු මාතෘකා කවීන් ගේ නිර්මාණාත්මක චින්තනය ප්‍රබෝධ කරවනසුලු විය; ඒකාකාරි වර්ණාවලින් බැහැර ව තව කාව්‍යෝක්ති නිපදවීමට ඔවුන් පොලඹවනසුලු විය. මේ අනුව හෙළ හවුල් කවිය ආරම්භයේ සිට ම නව චින්තන මාර්ගයකට අනුගත වූවක් වී ය. මේ කවීහු සමාජයේ බොරු හර සෝපහාස විවේචනයට ලක් කළ හ; සම්ප්‍රදායය කඩ නොකළ ද ආචීර්ණකල්පික ඇතැම් අදහස් තියුණු විචාරයට ලක් කළ හ. සමකාලීන වැ පැවැති බුද්ධිවාදි (rationalist) අදහස් ඔවුනට එක්තරා දුරකට බල පෑ අයුරු ද පෙනේ. (කුමාරතුංග, තෙන්නකෝන් වැනියන් හැරුණු විට) මේ බොහෝ කවීන් සංවේදි වැ මනුෂ්‍ය භාවයන් විවරණය කරන ගැඹුරු අරුතින් යුත් කාව්‍ය චින්තා නිර්මාණය කෙරෙහි එ තරම් උත්සුක නොවුව ද, පරිකල්පනාත්මක වශයෙන් නව්‍ය වූ කාව්‍ය මාර්ගයක් විවර කිරීමට ඔවුහු සමත් වූහ. වස්තු විෂයය අතින් මෙන් ම සන්දර්භය අතින් ද මේ කවීහු බොහෝ දුරට අලුත් මඟක් ගත්හ. ඔවුහු නව උපමා රූපක ආදි අලංකාර යෙදූ හ. ඒවා නව වුව ද ඇතැම් කොළඹ කවීන් යෙදූ නව උපමා රූපක මෙන් කෘත්‍රිම නො වී ය. ‘උභය භාෂණය’ බඳු අලංකාර ද ඔවුහු උචිත පරිදි භාවිත කළහ. මේ කවීන් ගේ ඉතා වැදගත් ලකුණක් වූයේ වක්‍රෝත්තිය කෙරෙහි ඔවුන් දැක්වූ ඉමහත් සැලැකිල්ල යි. එය කාව්‍යයෙක සාර්ථකත්වයට බෙහෙවින් හේතු වන සාධකයෙකි. එ මෙන් ම අනවශ්‍ය ශබ්දාලංකාර බොහෝ දුරට බැහැර ලූ ඔවුහු අර්ථ ප්‍රතිපාදනයට ම ප්‍රමුඛත්වය දුන්හ. කුමාරතුංගයන් ‘විරිත් වැකිය’, ‘කවි ශික්ෂාව’ යන ග්‍රන්ථ ද්වයයෙනුදු, සුබසෙහි ඇතැම් ලිපිවලිනුදු කාව්‍යකරණය විෂයයක වැ පළ කළ අදහස් ඔවුනට බොහෝ සෙයින් බල පෑ බව මැනැවින් පෙනේ. සැබැවින් ම හෙළ හවුල් කවිය ප්‍රභවයෙහි මෙන් ම විකාශනයෙහි ද ලා විරිත් වැකියෙන් වූ බලපෑම ඉතා ම වැදැගත් ය. කාව්‍යයෙහි අන්තර්ගතය මෙන් ම වැදැගත් අනෙක් සාධකය වනුයේ විරිත යි. පද්‍ය කාව්‍යයෙහි මුඛ්‍ය ලක්ෂණය එය යි. පුරාතනයන් ‘ඡන්දො බද්ධ පදං පද්‍යම්’ යි දැක්වූ පරිදි පද්‍යය නම් සඳැසින් - ඡන්දසින් - බැඳුණු පද යි. දැන් අවිශේෂයෙන් කාව්‍ය නාමය පද්‍යයට යොදනුයෙන් කාව්‍යයෙහි ද මුඛ්‍ය ලක්ෂණය ඡන්දස වෙයි. හෙළ හවුල් කවිය ප්‍රාරබ්ධ අවධියේ සිව් පද විරිත් - වෙසෙසින් දස අට මත් විරිත - සිංහල කාව්‍යයෙහි බාහුල්‍යවෘත්තියෙන් යෙදුණු සේ පෙනේ. සිලෝ විරිතුදු - මාලිනී, වසන්තතිලකා, උපේන්ද්‍රවජ්‍රා ආදිය දු ඇතැම් විට යෙදිණි. හෙළ හවුලේ කවියෝ ද මේ සියලු විරිත් අඩු වැඩි ලෙස යෙදූ හ. එ වුව ද ඔවුන් විසින් මුඛ්‍ය වශයෙන් භාවිත කැරුණේ ගී විරිත යි‍. ගී විරිත මේ වන විට අනුක්‍රමයෙන් අභාවයට යමින් පැවැතිණි. එය සිංහලයට ආවේණික වූවක් ලෙස සැලැකූ කුමාරතුංගයෝ එය පුනරුත්ථානයට පත් කිරීමේ තැත් යෙදූ හ. ඔවුන් අනුගිය හෙළ හවුල් කවියෝ ද මුල දී බොහෝ සෙයින් ගී විරිත යෙදූ හ. සුබසේ පැදි තරගවල දී යෙදිය යුතු (ගී) විරිත කිමෙක් දැ යි නියම කැරුණු බව ද මෙහි ලා සැලැකිය යුතු ය. ගී විරිත් මෙන් ම අනෙක් විරිතුදු යෙදූ ඔවුන් ගේ තව ද විශේෂ ලක්ෂණයක් වූයේ අන්තර්ගතය උද්දීප්ත වන පරිදි වෘත්ත භාවිතය යි. කාව්‍යයෙහි මුඛ්‍ය පරමාර්ථය රස නිෂ්පත්තිය බැවින් අභිප්‍රේත රසයට උචිත පරිදි වෘත්ත භාවිතයට හෙළ හවුලේ කවීන් බොහෝ විට උත්සුක වූ බව පෙනේ. මෙ ද කුමාරතුංගයන් විරිත් වැකියෙන් පෙන්වා දුන් කරුණෙකි. වස්තු විෂය, සන්දර්භ ලක්ෂණ, වෘත්ත භාවිතය වැනි කරුණු අතින් හෙළ හවුලේ කිවියන් ගේ වෙසෙසියාව සැකෙවින් එ සේ වෙයි. එ වුව ද, යට කී පොදු කව් ලකුණු මඟින් බැඳුණේ වුව ද සියලු හෙළ හවු‍ල් කිවියන් එක ම ආකෘතියෙක සිර වූවන් ලෙස සැලැකිය හැකි නො වේ. “ඔවුහු එක් අතෙකින් හෙළ හවුල් කිවියන් වන අතරෙහි ම, අනෙක් අතින් ස්වාධීන කවීහු ද වූ හ. හුදු හෙළ හවුල් කිවියන් පමණක් ම ලෙස සැලැකිය හැක්කේ (කුමරසිරි කිත්සිරි, දො.දෙ. මොහොට්ටි වැනි) ඉතා සුළු පිරිසෙකි. මෙ ලෙසින් බලන විට කුමාරතුංග මුනිදාසයන් පවා මුළුමනින් හෙළ හවුල් කිවියකු ලෙස සැලැකිය හැකි නො වේ. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ කාව්‍යය වන ‘පිය සමර’ හෙළ හවුල් කව් ලකුණින් ම යුතු වූයේ නො වේ. හෙළ හවුලේ කවීන් අතර ප්‍රමුඛතම ලෙස විචාරකයන් විසින් අවිවාදයෙන් පිළිගැනෙන රැ. තෙන්නකෝනුන් පවා වස්තු විෂය, සන්දර්භ ලක්ෂණ ආදිය අතින් බොහෝ දුරට ස්වාධීන කවියකු ලෙස සැලැකිය යුතු වේ. ඔවුන් විසින් උපයුක්ත භාෂා ව්‍යවහාරය පවා ගැමි බසත් වියත් බසත් මුසුවෙන් තනා ගැනුණු, ඔවුනට ම විශේෂ වූවක් විය.” මෙහි ලා හෙළ හවුලේ වැදගත් කවීන් හා ඔවුන් ගේ කෘති හා සැකෙවින් හෝ දැක්විය යුතු වේ. කුමාරතුංග මුනිදාසයන් හෙළ හවුල් කවියෙහි ආරම්භකයාණන් වුව ද හෙළ හවුල ඇරැඹීමට බොහෝ පෙර සිට ම ඔහු කාව්‍යකරණයෙහි යෙදුණහ. ඔවුන් මුල දී ලියූ කවිවල මාතර අවදියෙහි යම් ආභාසයක් දැකිය හැකි විය. ‘පිය සමර’, ‘කුමර ගී’ විචාරක සම්භාවනාවට මහත් සේ බඳුන් වූ කව් ගත් දෙක යි. ‘කුමාර පද්‍ය සංග්‍රහය’, ‘කුමර පැදි සගනුව’ ඔවුන් ගේ කව් පෙළවල් එක් කොට කැරුණු පොත් වේ. ‘සමරුව’ ඔවුන් ලියූ කුඩා කවෙකි. කාව්‍යය පිළිබඳ කවර දෘෂ්ටිකෝණයෙන් බැලුව ද කුමාරතුංගයන් ‘මහා කවි’ ගණයෙහි ලා සැලැකිය යුතු වේ. කලිනුදු දැක්වුණු පරිදි, හෙළ හවුල් කිවියන් අතර ශ්‍රේෂ්ඨතමයාණන් ලෙස අවිවාදයෙන් සැලැකෙන රැයිපියල් තෙන්නකෝන්හු ජාතියේ මහා කවියා ලෙස ද මහජන සම්භාවනාවට පාත්‍ර වූ, සුවිශිෂ්ට කාව්‍ය රචකයාණ කෙනෙක් වෙති. ඔහු සිංහල කාව්‍ය සම්ප්‍රදායයෙහි පිහිටි නමුදු, තමනට ම අනන්‍ය වූ ස්වාධීන රීතියෙකින් කාව්‍යකරණයෙහි යෙදුණහ. ඔහු දු හෙළ හවුලට එක් වීමට පෙර සිට ම කව් පබැඳුමෙහි යෙදුණහ. ‘වවුලුව’, ‘දෑ විනය’, ‘හැවිල්ල’, ‘බැතිමත’, ‘මහ මෙත් බවුන’, ‘රුප්පෙ අන්දරය’, ‘මුළු තැනැ අන්දරය’, ‘කෝපි අන්දරය’, ‘පස් මං දොරැ අන්දරය’, ‘තොටු අන්දරය’, ‘සක් පුබුදුව’, ‘ගමායනය’, ‘අමුණ’, ‘පරංගි සමය’, ‘කුවේණි වත’, ‘පින්දීම’, ‘වළල්ලාවිටිගලු වැනුම’, ‘සිංහල වංශය’, ‘පඬුර’ ඔවුන් අතින් ලියැවී පළ වුණු කාව්‍ය ග්‍රන්ථ වෙයි. මාතර අමරසිරි ගුණවඩුවෝ ද හෙළ හවුලට එක් වීමට පෙර සිට ම කාව්‍යකරණයෙහි නියුක්ත වූ හ. ‘වනිතා රත්නය’, ‘මහතොට ලකර’ වැනි කව් ලියැවී ඇත්තේ මාතර කාව්‍ය සම්ප්‍රදායයෙහි තර වැ පිහිටමිනි. ‘සුවදුක’, ‘පිළියම’, ‘අමර සමර’ ආදිය හෙළ හවුල් කව් මඟෙහි පිහිටමින් ඔවුන් ලියූ කව් පොත් වෙයි. කොග්ගල ජයමහ වෙල්ලාලයෝ ලක් මිණි පහනින් බිහි වූ කවියෙකි. ‘අලි සතුරුව’, ‘පිළිසඳර’ යනු ඔවුන් ලියූ කවි පොත් වෙයි. වරකාගොඩ සිල්රුවන් හිමියෝ ද සුබසට පෙර ලක්මිණි පහනට කව් ලියූ රචකයෙකි. උන් වහන්සේගේ ‘ළමා විරුව’ හෙළ හවුල් කවියෙහි ලා ප්‍රකට වූ ප්‍රබන්ධයෙකි. කුමාරතුංගයන් විසින් ඇති කැරුණු ‘රුවන් වැළ’ නම් කාව්‍ය ග්‍රන්ථාවලියේ එක් රුවනක් වශයෙන් එය පළ විය. එහෙත් සිල්රුවන් හිමියන්ගේ පරිණත කවිත්වය මනා වැ දැකිය හැක්කේ ‘රන් යුගය’ නම් කව් එකතුවෙනි. එය විචාරකයන් ගේ අවධානයට බඳුන් නොවුව ද උන්වහන්සේ ගේ ලෝකාන්වේෂණ ශක්තිය ද එයින් මැනැවින් ගම්‍ය වේ. හෙළ හවුල් කවියෙහි දෙ වන පරපුරෙහි ප්‍රමුඛයා ලෙස අරීසෙන් අහුබුදුවන් නිසැකයෙන් ම හැඳින්විය හැකි ය. ඔවුන් ගේ ප්‍රතිභාන්විත මහා කවිත්වය ‘රස දහර’, ‘පරෙවිය’ යන (රාජ්‍ය සම්මානයෙනුදු පිදුම් ලත්) කාව්‍යයන් ගෙන් පෙනේ. ‘බුද්ධ වංසය’, ‘කඳ දෙවි උපත’, ‘ගඟේ ගිය මිණ’, ‘සිංහල වංසය’, ‘ඉර හඳ නැඟි රට’ ආදිය ඔවුන්ගේ සෙසු කව් පොත් අතර ප්‍රමුඛ වෙයි. හෙළ හවුල් කවියෙහි ඇතැම් ලක්ෂණ ඉක්මවා ගිය ඔවුන් කවිත්වයෙන් පරිණතියට පත් වද්දී වඩාත් සරල මඟක් ගත් හෙයින් ජනප්‍රියතම හෙළ හවුල් කවියා වූ හ යි සිතිය හැකි ය. හියුබත් දිසානායකයෝ ද හෙළ හවුලේ ජනප්‍රිය කවියෙක් වූහ. ඉංගිරිසි කවියෙහි - විශේෂයෙන් වර්ඩ්ස්වර්ත්, ශෙලී වැනි අරුමැසි (romantic) කවීන් ගේ ආභාසය ඔවුන් ගේ කවියට මහත් සේ බල පෑ බව පෙනේ. ‘කැලෑමල’, ‘නුරා සුරාව’, ‘පැදි මිහිර’, ‘මල් සුවඳ’, ‘පද්‍ය විනෝදය’, ‘පද්‍ය ප්‍රීතිය’ ආදි කුඩා කව් පොත් ගණනාවක් ඔවුන් විසින් ලියන ලදි. ගැඹුරු කිවියාවත් නොදක්වතුදු ඔවුන් ගේ කව් කලෙක දී ජනප්‍රිය වැ පැවැතිණ. අහුබුදුවන් මෙන් ම හෙළ හවුල් කවියෙහි දෙවන පරපුරෙහි අනෙක් මහා කවියාණන් ලෙස අලවු ඉසි සැබිහෙළයන් හැඳින්විය හැකි ය. ප්‍රතිභා, ව්‍යුත්පත්ති, සතතාභ්‍යාස යන කාව්‍ය සම්පත්තියට අත්‍යවශ්‍ය කාරණ තුනින් ම සමන්විත වූ ඔවුන් විසින් ‘රුවන් මඟ’, ‘දෙව් ලොවේ මනමාලිය’, ‘සරසවි රස’, ‘ගෝතම ගීතය’ වැනි කාව්‍ය ග්‍රන්ථ රැසක් ලියන ලද නමුදු විචාරකයන් ගේ ප්‍රමාණවත් අවධානයට ලක් නො වී ය. භාෂාව කො තරම් නිරවද්‍යතාවෙන් යුක්ත වුව ද සූක්ෂ්මාත්මතාවෙන් යුක්ත නොවීම ද ගැඹුරු සංවේදනයන් ඇති කිරීමට සමත් නොවීම ද නිසා සැබිහෙළයන් ගේ මහා කවිත්වය එතරම් දුරට පල දැරූ බවක් නො පෙනේ. අ.දො. චන්ද්‍රසේකරයන් හැඳින්විය හැක්කේ හෙළ හවුල් කවියෙහි වෙනස් මුහුණුවරක් දැක්වූවකු වශයෙනි. ගැඹුරු ලෙස මිනිස් සිත විනිවිද දැක්මේ හැකියාවෙන් යුතු වූ ඔහු සියුම් හැඟුම් කවියට නැඟුමේ සමතෙක් ද වූ හ. ‘තෝතැනි’, ‘ඒ කාලේ කවි’ වැනි පොත් කිහිපයක් පමණක් ලියූ චන්ද්‍රසේකරයෝ ද විචාරක අවධානය ‍නොලද කවියෙකි. කවියකු වශයෙන් කීර්තිමත් නොවුව ද ගුණපාල සේනාධීරයන් ගේ ‘උපුල්වනුව’ විචාරක ප්‍රශංසාවට භාජන වූ කාව්‍යයෙකි. දො.දෙ. මොහොට්ටි, සඳදස් කෝපරහේවා, අනඳපිය කුඩාතිහි, මිරිස්සේ චන්දජෝති හිමි, කුමරසිහි කිත්සිරි, කලණරුවන් සුමනදස්, විනී විතාරණ, ගාමිණී තිලකවර්ධන, හේමසිරි කුමාරණතුංග ආදීහු ද හෙළ හවුල් කවි මඟෙහි පිහිටා කාව්‍යකරණයෙහි යෙදුණු පිරිස අතරෙහි ප්‍රමුඛ වෙති. සඳදස් කෝපරහේවයෝ මාතර කාව්‍ය සම්ප්‍රදායයෙහි ද ආභාසය බෙහෙවින් ලැබූවෙකි. වර්තමානයේ හෙළ හවුල් කවියෙහි එක්තරා පිරිහීමක් දක්නා ලැබේ. එහෙත් දැනුදු තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි, අමරසිරි පොන්නම්පෙරුම, තාරක රණසිංහ වැනි කවීන් කිහිප දෙනකු එ මඟෙහි පිහිටා කාව්‍යකරණයෙහි යෙදෙන බව දක්නා ලැබේ. සිංහල කාව්‍යය ආකෘතිය අතින් මෙන් ම අනුභූතිය අතින් ද අභිවර්ධනය කරනු වස් හෙළ හවුල් කවි මඟ අනර්ඝ දායකත්වයක් දැක්වී ය. විශේෂයෙන් සම්ප්‍රදායය රැක ගනිමින් නව කාව්‍ය මාර්ගයක් බිහි කිරීමට මේ කවීන් දැක්වූ විශිෂ්ට සම්ප්‍රදානය ඉතා වැදගත් විය. එහෙත් අප ගේ කාව්‍ය විචාරයේ හෝ විචාරකයන් ගේ හෝ දුර්වලතාව නිසා එය කිසි දු විටෙක ප්‍රාමාණික විචාරයනට භාජන නො වී ය. සිංහලයන් ගේ අතිශය හෘදයංගම කලාව වූ කාව්‍යය මහත් සේ පිරිහී, ඇද වැටී අද පවත්නා තතුවට පත් වීමට එ ද බලවත් හේතුවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *