ගොරවන්නට දෙදරවන්නට වුව ද අප ගේ වදන් පමණි!

හේමසිරි කුමාරණතුංග හෙළ බසට මේ යුගයේ දී ඉහළතම මෙහෙය කළ කුමරතුඟු මුනිදස්හු තම මෙහෙවර වඩාත් පුළුල් කරනු සඳහා සවිදහනක් ඇති කළ යුතු යැ යි සිතා, 1941-1-11 දා පාණදුරේ පල්ලිමුල්ලේ සිය නිවෙසට (හෙවණ) බස් ළැදියන් පිරිසක් කැඳවා ගත්හ. ජයන්ත වීරසේකර, රැපියල් තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, වෙල්ලාල ජයමහ, අරීසෙන් අහුබුදු, වෙ.ම. පෙරේරා ආදි වියත්හු ද ඒ අතරැ වූ හ. රැස් වැ සිටි පිරිස සගත් කුමාරතුඟු මුනිදසුන් පළමුවෙන් මැ ඉල්ලා සිටියේ මේ සවිදහනට සුදුසු නමක් සලකවන ලෙස යි. එ කෙණෙහි මැ නැඟී සිටි ජයන්ත වීරසේකරයෝ මේ සවිදහනට 'හෙළ හවුල' යන නම සුදුසු යැ යි තමන් සලකවන බව කියා සිටියහ. ඒ ඇසූ කුමරතුඟු මුනිදස්හු ඒ නම ඉතා මැ සුදුසු බවත්, ඉන් වැඩියක් කරන්නට තමන් ද අපොහොසත් බවත් කියා, ඒ නම පිළිගත්හ. එ තැන් සිට මසකට වරක් හෙළ හවුල රැස්වීම් පවත්වමින්, දෙසුම් හා සැසැඳිලි ද කරමින්, නිවැරැදි බස් මඟ දුහුනනට පැහැදිලි කැරැ දෙමින් සිය බස් මෙහෙය ඇරැඹී යැ. 1939 දී හෙළ බස ඔසොවුව පිණිස කුමරතුඟු මුනිදසුන් ඇරැඹූ 'සුබස' සගනුව එ තැන් සිට හෙළ හවුලේ සගනුව බවට පත් වී යැ. එ තෙක් මුසු බස් වහරට හුරු වී සිටි පිරිස හුදු හෙළ බස් වහරට හුරු කැරැවීම ඇරැඹුණේ ඉන් පසු වැ යි. එ තතු කුමරතුඟු මුනිදසුන් සුබස සගනුවෙන් කියා සිටියේ මෙ සේ යැ: “මෑතෙකැ සිට අප ගේ මහ වරදෙක් වී යැ. එ නම් සියල්ලෙහි දී හැකි පමණ සංස්කෘතයට බර වීම යි. දැන් ඇතැමුන් ඉංගිරිසියට බර වීම ගෞරවයට හේතුවක් කොටැ දක්නා සේ කලෙකට පෙරැ සිටියාහු සංස්කෘතයට බර වීම මහත් වැදගත් කමක් කොටැ සිතූ හ. ඒ සිරිත අපට ද බෝ වූ බව කුමට කියමු ද? දැන් අප ගේ යුතුකමෙක් වෙයි. එ නම් සිංහලය හැකි පමණ නිදහස් කිරීම යි. වැටැහීම අඳුරු නො කොටැ කළ හැකි සියලු තන්හි අප විසින් පිරිසුදු සිංහලය යෙදිය යුතු යැ.” එ දුටු හියුබත් දිසානායකයෝ කුමරතුඟු මුනිදසුනට අභියෝගයක් කළ හ. ඒ මෙ සේ යි: “ශික්ෂා මාර්ගය පස් වැනි පො තෙහි ඔබ විසින් මැ ලියා ඇති මේ කොටස ඒ ගම්භීරත්වය නොසි‍‍ඳෙන්නට නුමුසු හෙළ බසින් කිව හැකි ද?” “සුන්දරිය මෙහි බලව. මේ පාණ්ඩ්‍ය රාජයා යි. උභයාංශයෙහි ආර්පිත වූ මුක්තාහාර ඇත්තේ ය. හරිචන්දනයෙන් කරන ලද අංගරාග ඇත්තේ ය. එ හෙයින් තරුණ රිවි කිරණයෙන් රක්ත වර්ණ වූ කූට ඇති ගලන නිල් ජල ධාරා ඇති පර්වත රාජයක්හු මෙන් බබළයි. ලංකාධිපති රාවණයා ද ඉන්ද්‍ර ලෝකය ජය ගන්නා පිණිස ගියේ මොහු හා සමඟ ය. තාම්බූල වල්ලියෙන් පරිනද්ධ වූ පූග වෘක්ෂයන් ඇති, ඒලා ලතායෙන් ආලිංගිත වූ චන්දන වෘක්ෂයන් ඇති, තමාල පත්‍ර ආස්තරණ ඇති, මලය ස්ථලයෙහි ක්‍රීඩා කිරීමට පහදුව. මේ රජු ගේ ශරීරය ඉන්දීවර ශ්‍යාම ය. ඔබ ගේ ශරීරය ගෝරෝචන ගෞර ය. විද්යුල්ලතා මේඝකූට දෙදෙනා ගේ මෙන් අන්‍යොන්‍ය ශෝභා වර්ධනය පිණිස ඔබ දෙ දෙනා ගේ සංයෝගය වේ වා.” “ඇයි බැරි? මේ බලන්නැ” යි, කුමරතුඟු මුනිදස්හු එය මෙ සේ නුමුසු බසට නඟා පෙන්වූහ. “යහදසන, නුවන් පින්වන්නැ, එඩි නොමැඬි පඬි රජ යැ මේ. දළන දල මුත් හරින් ලෙළ දෙන දෑල යැ. රිහිරි හරි හරිසඳුන් මිහිර අඟරවන අඟරා ගත් ඇඟ යැ. ලකිසුරු දස සිරසා ද දුරු ඉඳුරු මැඳුරු දැදුරු කරනු සඳහා මෙ රජ සඳ හා සඳහා යැ ගියේ. බුලත් වැල් වෙළුණු පුවක් ගස් ඇති, ඒල් වැල් වෙළුණු සඳුන් ගස් ඇති, නිමල තමලු දළ ඇතිරිලි පැතිරිලි ඇති මලය තෙලෙහි කෙළි දෙලෙන් වසනට පහදුව. මොහු සිරුර ඉඳුවර බඳු අඳුරු යැ. ඔබ සිරුර ගොරොද පරදවන ගොර යැ. මේකුළෙහි විදුලිය මෙන් මේ කළුයෙහි ලෙළ දී උනුන් පැහැ පහන්නැ,” යි පවසා, “හඬන්නට ගයන්නට පමණක් නො වැ, ගොරවන්නට දෙදරවන්නට වුව ද අප ගේ වදන් පමණි,” යැ යි ද කී හ. ඒ පිළිතුරෙන් පැහැදුණු හියුබත් දිසානායකයෝ ද ඉන් පසු නුමුසු බසින් ලිවීම ඇරැඹූ හ. බස වැනැසුණු දා දැය ද වැනැසෙයි. දැය වැනැසුණු කලැ රටෙක් ඉතිරි වේ ද? එ හෙයින් රැස, දෙස රැකෙන්නට නම් බස රැකැ ගත යුතු මැ වෙයි. කිසි මැ කලෙකැ කට වහරේ නො පැවැති බසක් වූ සකු බසේ වදන් කට වහරේ පවතින බසක් වන හෙළ බසට මුසු කැර හෙළ වදන යට පත්වන්නට හැරීම බසට කරන බලවත් හානියක් බව පිළිගත යුතු වේ. ගැමියා ගේ කට වහරේ පවතින 'නොවරදවා' මැ යන වදන යට පත් වී අද අනිවාර්ය යන සකු වදන බාල පරපුරට හුරු කැර තිබේ. 'වෙසෙසින්' යන වදන යටපත් කැරැ 'විශේෂයෙන්' යන්න වහරට ගෙන ඇත. බොරු පා, බොරු දත් යනුවෙන් කට වහරේ පවතින බොරු යන වදන යට පත් කැර, පහසුවෙන් නොකියැවෙන 'කෘත්‍රිම' යන සකු වදන වහරට ගෙන ඇතත් එය වැඩි දෙනා කියන්නේ ද 'ක්රුතිම' කියා යි. 'කෘත්‍රිම' යන්න සඳහා යොදා ගත හැකි 'වෙළපුණු' යන සිංහල වදන ද අද බොහෝ දෙනා නොදන්නා වදනක් බවට පත් වී ඇත. මෙ සේ පර වදන් වහරට ගෙනැ, සිය බසේ වදන් මරා දැමීම සිය බසට කරන මහ හානියකි. ඒ වරද නොකරන කෙනකු ඇත් නම් ඒ හෙළ හවුලේ කෙනෙක් පමණි. රැසත්, දෙසත් රැකෙනට නම් බස රැක ගත යුතු මැ වෙ යි. හෙළ හවුලේ වියතුන් ගේ නිවැරැදි බස් වහර පාසල් දරුවනට වටහා දෙන්නේ නම් එය බස, රැස, දෙස යන හෙළ තෙරුවනට මැ කරන මහ මෙහෙයකි. හෙළ හවුලේ වියතුන් ගෙන් වෙන මැ ලිවිසැරියක් බිහි වී ඇත. ඒ ඇත්තන් ලියා ඇති පොත් ගණන දහස ඉක්මවන තරමි. ඒත් එ වැනි මෙහෙයක් කළ හෙළ හවුලට රජයෙන් හෝ වෙනත් තැනෙකින් හෝ කිසි දු පිටුබලයක් ලැබී නැත. ලැබී ඇත්තේ ඇනුම්, බැණුම්, නිගැනුම් පමණි. “පැසැසුම් ලබනට ද ගැරැහුම් ඔබනට ද නො වැ වතුරු නැඟැ ගඟ ගලනෙව් සුකිවි බස බැසැ රස දේ.” - කුමාරතුංග මුනිදාස "පැසැසුම් සමර"

Leave a Reply

Your email address will not be published. Required fields are marked *