සුබස් මඟ එකලු කොට සත් සැට වසක් සැපිරූ හෙළ හවුල

මෑත යුගයේ සිංහල භාෂාව පිළිබඳ විමර්ශනාත්මක ව තොරතුරු විමසන කවරකුට වුව ද හෙළ හවුල ගැන සඳහන් නො කැර ඒ කාර්යය මැනැවින් ඉටු කළ නොහැකි යැ යි සිතමි. මේ දක්වා පුරා හැට එක් වසරක් සිංහල භාෂාව වෙනුවෙන් හෙළ හවුල ඉටු කැර ඇති මෙහෙය ඒ පිළිබඳ තතු දන්නා කිසිවකුට සුළු කොට තැකිය නොහැකි ය.

සිංහල වියත් බස් වහරට කවරකු ගෙන් හෝ හානියක් විපතක් සිදු වන බව පෙනුණු හැම විටෙක ම පාහේ හෙළ හවුලේ වියතුන් ඇදුරු මහ ඇදුරු ඈ පුද්ගලයා ගේ තරාතිරම නො තකා ඊට විවිධ මාර්ගවලින් එරෙහි ව නැඟී සිටි අවස්ථා භාෂා ඉතිහාසයේ මෑත භාගයේ තතු විමසන කවරකුට වුව ද පැහැදිලි වනු ඇත.

මේ තරමින් වත් අද බස රැකෙන්නට හෙළ හවුල කළ මේ උදාර මෙහෙවර බොහෝ දෙනකු ගේ පැසැසුමට ලක් වී ඇති බවට සැකයෙක් නැත.

අද සිටින බොහෝ දෙනකුට හෙළ හවුල ගැන වත් එහි යටගියාව පිළිබඳ වත් නිසි වැටැහීමක් ඇතැ යි සිතිය නො හැකි ය. හෙළ හවුල ඇරැඹුණේ 1941 ජනවාරි මස 11 වන දා පාණදුරේ ගොරකාපොළ පිහිටි කුමාරතුංග මහ පඩිවරයාණන් ගේ “හෙවණ” නම් නිවෙසෙහි ය.

මතු දැක්වෙන කරුණු ඇතුළු අරමුණු අටක් මුල් කොට-ගත් බසට වැඩක් වන තවත් කරුණුවලට ඉඩ සැලැසෙන ඉසවු කීපයක් එහි සඳහන් විණි.

“සිය බසට රුකුල් දීමට එකතුවක් පිහිටුවීම, නානා ඉසවු පිළිබඳ පොත් කිරීමට සුබැසියන් තේරීම, අවරදිගින් එන අලුත් හැඟුම් හෙළ බසින් පවසන ඉතා මැ සුදුසු මං පෑයීම, පොත් පළකිරීමට හවුලක් ඇති කිරීම, හවුරුද්දකට වරක් සෝදිසියක් කොටැ සමත් වූවාට තෑගි, දෙස් පත් දීම” යන කරුණු ඒ අතර කැපී පෙනිණි.

යට දැක්වුණු හෙළ හවුල නමින් අද දක්වා පවත්නා මේ සංවිධාන පැවැතුණ ද එහි මූලාරම්භය 1939 මාර්තු 4 වන දා පළමු වන මරදානේ නම්වර 115 දරන ස්ථානයේ “සිංහල සමාජය” නමින් පිහිටුවා ගත් සිංහල සමිතියක් බව අනාවරණය වෙයි.

කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් මුල් කොට ජයන්ත වීරසේකර, අමරසිරි ගුණවර්ධන, ඒ. ඩී. ජයසේකර, දො. දේ. මොහොට්ටි යන විද්වතුන් ඇතුළු දොළොස් දෙනකු පමණ ඊට සහභාගි වී ඇත. හෙළ හවුලේ දැක්වුණු කරුණු අටට පදනම් කොට ගත් අරමුණු හතරකට පමණක් ඒ සමිතියේ කටයුතු සීමා වූ බව පෙනේ.

සිංහල සමාජය නමින් එතෙක් පැවැති ඒ සමිතියට මේ මුළුවේ දී “සිංහලාලය” යන නම සම්මත කැර-ගැනීම මෙහි දී සිදු වූ විශේෂ කරුණක් හැටියට දැක්විය හැකි ය.

අනතුරු ව 1941 දී පැවැත්වුණු මුළුවේ දී ඊට සුදුසු වෙනත් නමක් සම්මත කැර ගත යුතු යැ යි කුමාරතුංගයන් මතු කළ අදහසක් අනුව “හෙළ හවුල” යන්න ඊට වඩාත් ම සුදුසු යැ යි ජයන්ත වීරසේකරයන් පළ කළ අදහසින් මහත් සොම්නසට පත් කුමාරතුංගයෝ තමන් ද නමක් සිතා සිටි නමුත් මේ නම සුදුසුතම නම යැ යි තහවුරු කළහ.

හෙළ හවුලට මුල් වූ ‘සිංහලාලය’ පැවැති සමයයේ දී ම ඇරැඹුණු “සුබස” අද දක්වාත් විටින් විට එළි දකිමින් එහි ජීවමාන සංකේතය බවට පත් ව තිබේ. මීට අමතර ව හෙළ හවුලේ වියතුන් පළ කැර ඇති පොත පත මෙන් ම ලිපි ලේඛන ද ගී පද බැඳුම් ඇතුළු “සක්විති රාවණ” වැනි නළු ද හෙළ හවුලේ විශේෂත්වය කියා පාන සංකේත වශයෙන් හැඳින්විය හැකි ය.

හෙළ හවුල ඇරැඹියේ අද වැනි නොවහල් නිදහස් යුගයෙක නො ව මහ අදිරදයෙක පාලන බලයෙන් මිරිකී දෙස බස රැස පර ගැතියාවට යට වී ඉංගිරිසිය රජයු බස බවට පත් ව සිංහලය මුළුතැන් ගෙයි බසක් බවට පත් වූ අඳුරු යුගයෙක බව අමතක කළ යුතු නො වේ.

මේ හැම ගනඳුරෙන් එළියට ඒමට නන් අයුරින් පෙරමුණ ගත් හැම හටනකට ම පාහේ ඉදු මඟින් මෙන් ම වක් මඟින් ද, හෙළ හවුල ඉටු කළ මහ මෙහෙය අමතක කළ හැකි නො වේ.

අද තත්ත්වය ඊට ඉඳුරා වෙනස් බව කිව මනා නො වේ. එ හෙත් එ පමණෙකින් හෙළ හවුලේ අරමුණ සපුරා ඉටු කැරැ-ගත හැකි වූ බවක් නො පෙනේ. එ හෙයින් ඒ අරමුණු ඉටු කැරැ-ගන්නා තුරු එය ඒ වෙනුවෙන් කැප වී කි‍්‍රයා කරනු ඇත.

එ හෙත් ආයතනයක් වශයෙන් හෙළ හවුලෙන් එබඳු කාර්යයන් කරන බවක් බොහෝ දෙනකුට නො පෙනේ. ඔවුන් ඒ වෙනුවෙන් කරන කාර්යයන්හි දී හෙළ හවුලේ නමින් පෙනී නො සිටීම මෙයට ප‍්‍රධාන හේතුව යැ යි සිතමි. මෙ කරුණ වටහා ගැනීමට 1991 පළ වූ හෙළ හවුලේ සඟනුව වන “සුබස” සමරු කලබෙහි වි. ජ. මු. ලොකු බණ්ඩාර සූරීන් පළ කළ ලිපියෙන් කැඩියක් උපුටා දක්වනු කැමැත්තෙමි.

“තැනැති වාසි ලේසි නො තකා උදාර පැතුමන් පෙරදැරි ව හෙළ තෙරුවන නැඟූ වැඩූ හෙළ හවුලට අඩ සියවසක් පිරෙන්නේ රටට ජාතියට ණය නැති ආයතනයක් ලෙසිනි. මූලස්ථාන නඩත්තු ආයතනවලට නැති හය්යක් හෙළ හවුලට ඇත්තේ එක් එක් ප‍්‍රධානයා ආයතනයක් වන බැවිනි. පිළිවෙත් සරු සුබැසි බලයට නිදසුනක් දෙකක් සලකා බලමු.

ගුරු දෙවි මුනිදසුන් ගේ විරිත් වැකියෙන් පහළ වූ රැ.තෙන්නකෝන් කිවිසුරාණන්, ඔබ ගේ හෙළ මියැසියෙන් බිහි වූ සුනිල් සාන්ත සගයු වෙසරදාණන් යන දෙදෙන ම ආයතන නො වූ ද? බදත් කෝදාගොඩ නැණලු හිමිපාණන්, ජයන්ත විරුසේකර නයුවාණන් හෙළ බස අසිපතක් කොටැ හෙළ මඟ හෙළි පෙහෙළි කළ අයුරු අන් කවර නම් ආයතනයකට හිමි උරුමයෙක් ද? දිවමන් සුබැසියන් අතුරින් අරීසෙන් අහුබුදුවන් ජීවිත ගණනාවෙකින් කළ නො හෙන මෙහෙවරක් දෙසේ බසේ රැසේ සස්නේ දියුණුවට කළ අයුරු පිළිවෙත් සැර තිරසර ගුණයට දිවමන් නිදසුනි.

සියැලි සස්න හොබවන මර්සලීහු ජයකොඩි පිය නම හුදු පුඟුල් නමෙක් ද? දි.වි. රිචඩ් සිළුවාණන් පෑන මෙහෙයැවූ අසිරිය, මුනිදසුන් ගේ වෙසෙසි හරසර දිනූ මහනම් දිසානාවන් පුවත්පත් කලාව හොබවමින් දුහුනට දුන් දිරි ගුණපාල සේනාදීරයන් හෙළ බසට පුරා විදුවට සැලැසූ මෙහෙවර ඒ ඒ සරසවි සවි ගැන්වූ ආනන්ද කුලසූරිය, විනී විතාරණ යන පුවසුරුවන්, හෙළ වදනේ ඉතිමෙලෙවියාව පාදන්නට ම උපන් සේ හැඟෙන අලවු-ඉසි සැබි හෙළයාණන්, දකුතුරුවන් අතුරෙන් පුවසුරු නඳදස් කෝදාගොඩයන් ඉදිකුරුවන් අතුරෙන් ඊලියන් සිළුවාණන් වැනි හෙළ බස් රුසියන් (වැනි තවත් බසට වැඩ වැඩූ හෙළ බස් වියතුන්) ඇතුළු හෙළ මඟ අනුදත් අමරදේවයන්, එපිටවලයන් වැනි” තවත් නම් රැසක් සඳහන් කරමින් “මේ හැම දෙන ම එක් එක් ආයතනයක් නො වෙත් දැ” යි එයින් විමසා තිබේ.

අද වුව ද බසට මහ මෙහෙයක් කරන හෙළ හවුලේ බොහෝ වියත්තු ඒ ඒ හැම තැනැ දී ම තමන් හෙළ හවුලේ ඇතුළතකු බව කියා පාමින් ඒ කාර්යයන් හි නො යෙදෙති.

නන් අයුරු දුර්මත පළකරමින් වියත් බස වළලන්නට නන් මාදිලියේ පොත පත හෝ ලිපි ලේඛන පළකරන අවස්ථාවල දී ඒ ඒ පුද්ගලයා ගේ තරාතිරම නොබලා ඊට එරෙහි ව නො බා ඉදිරියට ආ බොහෝ දෙන හෙළ හවුලේ වියතුන් බව අමතක නො කළ යුත්තෙකි.

හෙළ හවුල ඒ සටන මැනැවින් කැර-ගෙන ආ හැටි අගයමින් මාර්ටින් වික‍්‍රමසිංහයන් සිය “ජපන් කාම කතා හෙවනැල්ලේ” සඳහන් කළ කැඩියක් ද ඒ සඳහා මෙහි ලා සඳහන් කරමි.

“හෙළ හවුලේ නායකයා වූයේ භාෂා සාහිත්‍යයෙහි හසල බුද්ධිය ඇති මුනිදාස කුමාරතුංග යි. හෙළ හවුලේ ශ‍්‍රාවකයන් ගෙන් වැඩි දෙනා වියරණය හා බස් වහර විසින් ද හික්මවනු ලැබුවෝ ය. කුමාරතුංග අනුගාමිකයෝ වියරණය ගැන අවුරුදු තිහක් හතළිහක් පමණ සටන් කළහ.

එහෙත් වියරණය මරමින් ලියන ලේඛකයන් පමණක් නො ව අව්‍යක්ත පද යෝජන පවා නව නිර්මිත භාෂා රීති ලෙස හඳුන්වන ඇදුරෝ ද ඒ රොඩු බස් රීතිය අනුකරණය කරන ලේඛකයෝ ද පෙර නො වූ පරිදි වැඩි වූහ.”

වික‍්‍රමසිංහයන් කියන පරිදි හෙළ හවුලේ උදාර අරමුණු පලවත් කැරැ-ගැනීමට දුෂ්කර වූයේ මන් ද, යන්න ද මේ අවස්ථාවේ විමසා බැලිය යුත්තෙකි. කුමරතුඟුන් ඇතුළු හෙළ හවුලේ වියතුන් බස කෙලෙසන ඇදුරු මහ ඇදුරු ඈ කවරකුට වුව ද ඔහු ගේ තරාතිරම නොතකා කිව යුත්ත කියා පෑම සිය පිළිවෙත කොට-ගත් පිරිසෙකි.

ඒ අනුව සරසවියේ ඇතැම් ඇදුරෝ ද හෙළ හවුලේ දැඩි විවේචනයට ලක් වූ හ. එය නොරිස්සු ඔවුන් මෙන් ම ඔවුන් ගේ ඇතැම් සගයෝ ද ඊට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන්නට වූ හ.

මේ තත්ත්වය කදිමට පිළිබිඹු වන තැනක් සුචරිත ගම්ලතුන් 2002.12.08 වන දා “සිළුමිණට”  ලියූ ලිපියකින් මතු කැරැ-ගත හැකි ය.

එහි “සම්මත සිංහලය” ගැන සඳහන් කරමින් “කොළඹ විශ්ව විද්‍යාලය මුල් කොට ගෙන මේ වාර්තාවට දැඩි විරෝධය එල්ල විය. දැන් මට සිතෙන ලෙස ඊට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ සම්මත සිංහල කමිටුවේ සාමාජික බහුතරය හෙළ හවුලේ හෝ ඊට නැඹුරු වියතුන් වීම යි. ඔවුන් පෙනී සිටින්නේ පැරැණි සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග‍්‍රන්ථවල එන භාෂා නය සඳහා ය. එහි කවර වරදෙක් වී ද? කිසි වරදෙක් නො වී ය… කමිටුවේ සිටි වියතුන් ගේ පා පියුම් දෙවීමට වත් සමත් එකෙක් දැන් මෙරට නැත.”

උක්ත වැකි කීපය ම යට සඳහන් කළ කරුණු වටහා-ගැනීමට ප‍්‍රමාණවත් යැ යි සිතේ. මීට සමාන ව හෙළ හවුලේ අගය දකින එමඟ අගය කරන තවත් සරසවි ඇදුරන් මහ ඇදුරන් විටින් විට පළ කළ අදහස් අතුරෙන් අභාව ප‍්‍රාප්ත මහාචාර්ය විමල විජේසූරියයන් හෙළ හවුලේ නයු අනඳපිය කුඩාතිහියන් ගේ ණ,න,ළ,ල වහර පොත පිළිබඳ ඇගැයුමක් කරමින් “සිංහල භාෂාවේ සාම්ප‍්‍රදායික රීතිය බොහෝ සෙයින් නිවැරැදි ලෙස හඳුනා-ගෙන එසේ හැඳින-ගත් භාෂා රීති ඉතා සංයමයකින් ලේඛනයෙහි ලා ක‍්‍රමවත් ව භාවිත කරන වියතුන් පිරිසක් අද වුව ද අපට හමුවන්නේ උසස් අධ්‍යාපන ආයතනවල නො ව සත්‍ය වශයෙන් ම හෙළ හවුලේ සාමාජික භවතුන් අතරෙහි වීම මහත් සැනසිල්ලකි. බස ඇතුළු තම ජාතික උරුමයන් ගේ ගරුත්වය කෙලෙසන පිරිස් දේශපාලන හා උසස් අධ්‍යාපන ආයතනවල ශීඝ‍්‍රයෙන් බෝ වෙද්දී, එකී මානව උරුමයන් හද පතුලින් ම අගයන හරවත් උතුම් මිනිසුන් අදත් අපට හමුවන්නේ ඔවුන් අතරිනි.”

මෙවන් මැදහත් ප‍්‍රබුද්ධ මහ ඇදුරන් කීප දෙනකු වත් හෙළ හවුලේ අගය වටහා ගෙන එය රටට ම හෙළි පෙහෙළි කැරැ-දීම බෙහෙවින් අගය කළ යුත්තෙකි.කෙසේ වුව ද හැට එක් වසරක් ගෙවුණු මේ මොහොත දක්වා නිවැරැදි වියත් බස් වහර රැක ගනිමින් එය රට පුරා ස්ථාපිත කරනු වස් “සුබස” වැනි බසට ම කැප වූ ශාස්තී‍්‍රය සඟා පළ කරමින්, බසට, රැසට, දෙසට මහ මෙහෙයක් කළ වියතුනට සම්මාන පිරිනමමින් විටින් විට ගුරුනට හා ඉහළ පෙළේ සිසුනට වියත් බස පිළිබඳ දෙසුම් පවත්වා සමතුනට හා භාෂා සාහිත්‍ය විෂයයන්හි තරග පවත්වා ඉදිරියට එන්නවුනට සහතික පත් පිරිනමමින් ජන සන්නිවේදන මාධ්‍යකරුවනට නිවැරැදි බස් වහරට මඟ පෙන්වන දෙසුම් පවත්වමින්, නන් පෙදෙස්හි හෙළ හවුලේ අතු (ශාඛා) පිහිටුවා දුහුනන් ඊට ඈඳ්‍ර ගනිමින්, වසරක් පාසා කුමරතුඟු සමරුව මහ ඉහළින් පවත්වමින්, බසේ ඔදවත් තෙදවත් හා නිවැරැදි මඟට මං හෙළි කරමින්, බස නසන්නවුනට නිසි තැන ප‍්‍රතිචාර දක්වමින් මෙතෙක් හෙළ හවුල කැරැ-ගෙන ආ අමිල මෙහෙය මෙ තෙක් වෙනත් කිසිදු ආයතනයෙකින් සිදු වී ඇති බවක් කිය හැකි ද?

මේ සියලු කරුණු සලකා එදා කුමරතුඟුන් ප‍්‍රමුඛ හෙළ හවුලේ මහ නයුවන් පැතූ අයුරින් ම දුබස් මඟ අවුරා සුබස් මඟ හෙළි කරමින් දැයක් වශයෙන් සවිමත් ව එකට බැඳී සිටීමට ඇති මූලික ජාතික උරුමය වන සිංහලය රැක ගැනීමට සංවිධාන වී මෙතෙක් පවත්වාගෙන ආ එක ම භාෂා ආයතනය වන හෙළ හවුලට භාෂා පෙ‍්‍ර්මී හැම ගේ ශක්තිය වඩ වඩාත් ලැබිය යුතු කාලය එළඹ ඇතැ යි සිතමි.

(2008 වසරේ ජනවාරි මසැ සිළුමිණ පතෙහි පළ වූ ලිපියෙකි.)

හෙළ හවුලේ අනුනයු මඬුල්ලේ, 
අ. ආ. ගුණතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *