“කුමරතුඟු මඟ මගවු”

2000. 08. 06 වැනි දා ඉරිදා දිවයිනේ,  මහාචාර්ය සුචරිත ගම්ලතුන් ගේ ‘සති සිතුමිණි’ තීරුව “මුනිදසුන් සිය මුළු මහත් ජීවිතය කැප කළේ වත්මන් සිංහලය ඇද නැති නො වැනෙන බල සම්පන්න ඔද තෙද සපිරි බසක් බවට පත් කිරීමට ය. අද හොඳ සිංහලය කොහි ද? පාසලේ පිරුවනේ හා සරසවියේ හඩු සිංහලය ම උගැන්වේ. සරසවිවල කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ආදි බොරු වෙස් ගත්තෝ කුණු ම කුණු හඩු ම හඩු කානු පල්ලේ සිංහලයෙන් ලියති. කුමරතුඟු මුනිදසුන් ගේ උරුමකරු වෙමැ යි දැපෙන හෙළ හවුල කුමක් කරයි ද? කිසිවක් කරන සෙයක් නම් මට නො පෙනේ. එය මා හද කවයි; දවයි. ආචාර්ය, මහාචාර්ය ආදී ගරු ගම්භීර පට්ටම්වලට බියෙන් මේ පට්ටම් දැරුවන් බස මරනු බලා මුවින් නො බැණ සිටීම නොසරි ය. වරක් අභියෝග කළ කල්හි ඒ පට්ටම් කඩු කස්තාන බොරු බරවා කකුල් බව පෙනෙනු ඇත... හෙළ හවුල තමාට සුජාත ලෙස අයත් මේ ඓතිහාසික මෙහෙවරට උර දිය යුතු ය. කුමාරතුංග නාමය අමරණීය කිරීමට මහ මේය අන් මං නොමං ය.” “කුමරතුඟු සමරු උලෙළ වසරකට එක් වරක් වත් නො ව දොළොස් වරක් ම පැවැත්විය යුතු මහඟු උලෙළකි. දවසකට වරක් වත් පැවැත් විය හැකි නම් වඩාත් මහත් පල මහානිශංස දායක ය. මම කුමක් හෙයින් මෙ සේ කියම් ද? මුනිදාසයන් තරම් අද දින සිංහලයට අදාළ ව මහා උතුමකු මෑත අතීත දර්ශන පථයෙහි මට නො දිස් වන බැවිනි”  

අනඳපිය කුඩාතිහි ගේ ‘න ණ ල ළ වහර’ පෙරවදන: විමල විජේසූරිය 

“සිංහල භාෂාවේ සාම්ප්‍රදායික රීතිය බොහෝ සෙයින් නිවැරැදි ලෙස හඳුනා-ගෙන එසේ හැඳින-ගත් භාෂා රීති සංයමයකින් ලේඛනයෙහි ලා ක්‍රමවත් ව භාවිත කරන වියතුන් පිරිසක් අද වුව ද අපට හමුවන්නේ උසස් අධ්‍යාපන ආයතනවල නො ව හෙළ හවුලේ සාමාජිකයන් අතර වීම මහත් සැනැසිල්ලෙකි. බස ඇතුළු තම ජාතික උරුමයන් ගේ ගරුත්වය කෙලෙසන පිරිස් දේශපාලන හා උසස් අධ්‍යාපන ආයතනවල ශීඝ‍්‍රයෙන් බෝ වෙද්දී, එකී මානව උරුමයන් හද පතුලින් ම අගයන හරවත් උතුම් මිනිසුන් අදත් අපට හමුවන්නේ ඔවුන් අතරිනි.”

මහාචාර්‍ය අශෝක ප්‍රේමරත්න:

“කුමාරතුංග මුනිදාස මහතා මෑත භාගයේ අප රට තුළ වූ ශාබ්දිකයන් අතර අග්‍රගණ්‍ය පුරුෂයාණන් ලෙස සැලකිය හැකි බවට සැකයක් නැත. හැට වසරකට ම පසුවත් ඔවුන් ලියූ ව්‍යාකරණ කෘති ඉක්මවා යන කෘතියක් කිරීමට අන් කිසිවකු හෝ සමත් නොවීමෙන් ඒ බව හෙළි වේ. ඔවුන් ගේ විශ්ලේෂණ ඥාණය සාර්ව වාග්විද්‍යාවේ මිනුම් දඬු අනුව වුව ද ඉහළ තලයක පවතින බවත් වාග්විද්‍යාත්මක සිද්ධාන්ත පදනම් කරගෙන ඒ පිළිබඳ නිසි තක්සේරුවක් කළ හැකි බවත් මෙතෙක් කෙරුණු සාකච්ඡාවෙන් පැහැදිලි වන්නට ඇත.”  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *