හෙළ හවුලට නම දුන් ජයන්ත වීරසේකරයෝ

2011 ජුලි 07 වැනි දා, සිළුමිණ පුවත්පතට අමල් යශෝමන් ජයසිංහයන් සැපැයූ ලිපියක් ඇසුරින් සැකැසිණි. සැබැඳිය: http://www.silumina.lk/punkalasa/20110710/_art.asp?fn=ar11071013 “අපි තමුන් උසාවියට ඉදිරිපත් කරනවා. තමුන් ඉතා හොඳින් දන්නා වැදැගත් කෙනෙක් තමුන් වෙනුවෙන් ඉදිරි පත් වුණොත් උසාවියේ දී ගොඩින් බේරා-ගන්න පුළුවන්. තේරුණා ද?” මහ මඟ තැන තැන විරිදු සුරල් කියමින් බඩ වියත රැක-ගන්නා යාචක තෙමේ පොලිස් නිලධාරියා දෙස බැගෑ පත් බැල්මෙන් යුතු ව බලා සිටියේ ය. මරදාන එල්ෆින්ස්ටන් සිනමාහල අසල දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පිහිටියේ කුඩා මඩුවකි. නගරයේ සැරිසරන යාචකයෝ රාත්‍රියේ එහි ලැගුම් ගනිති. පසු දා හිමිදිරියේ නික්ම යති. නිතොර ම පාහේ එහි කඩා පනින පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන පාදඩ නීතිය යටතේ උසාවියට ඉදිරිපත් කරති. සමාජයේ පිළිගත් අයකු ඉදිරි පත් වුව හොත් නිදහස් කරති. වැරැහැල්ලක් බඳු කෝට් බෑයකින් ද කොටු සරමකින් ද සැරැසී සිටි විරිදු යාචකයා තම විරිදු රබාන ද පපුවට දෑතින් තුරුලු කොට තබා-ගත් වන ම අසරණ ව බලා සිටියේ ය. “මං... මං ජයන්ත වීරසේකර මහත්මයා හොඳට අඳුනනවා” යුරෝපිය ඇඳුමින් සැරැසී කණ්ණාඩියක් බඳු දිලිසෙන පාවහන් පැලැඳ බර අඩි තබමින් උසාවියට පැමිණි ගම්භීර, වැදැගත් පෙනුමැති මහාත්මයෙක් නඩුකාරතුමා දෙස බැලුවේ ය. “තමා මොහු හඳුනනවා ද?” උසාවිය මහාත්මයා ගෙන් ප්‍රශ්න කෙළේ ය. යාචක විරිදුකරුවා දෙසට හැරුණු මහාත්මයා තම දෑත් එකතු කොට මඳක් ඉදිරියට නැමී සන්සුන් ලීලාවෙන් ආචාර කොට “එහෙමයි. මා මොහු හඳුනනවා පමණක් නො වෙයි; මොහු මා ගේ ගුරුතුමා ද වෙයි.” යනුවෙන් මහාත්මයා දුන් පිළිතුරෙන් අවට සිටියවුන් ගේ දෑස් විශාල විය. ඔවුහු පුදුමයකින් මෙන් බලා සිටින්නට වූ හ. “මොහු ඔබේ ගුරුතුමා වූ හැටි අපත් දැන-ගන්නට කැමැති යි” විනිසුරුවරයා කීයේ ය. “දිනක් මා විවේකී ව නිවෙසේ සිටිය දී මොහු පැමිණ විරිදු ගායනා කොට මගෙන් ආධාරයක් ඉල්ලුවා. විරිදු ගායනය ගැන මා සිතේ මහත් පැහැදීමක් ඇති වුණා. මටත් විරිදු රබාන වයන්නට, විරිදු ගයන්නට උගන්වන්නැ යි මා මොහු ගෙන් ඉල්ලා සිටියා. මොහු බොහෝ ම උනන්දුවෙන් ඒ පාඩම් මට කියා දුන්නා. අද මාත් මොහු නිසා හොඳින් විරිදු රබාන වයන්නටත්, විරිදු ගයන්නටත් දන්නවා. එපමණක් නො වෙයි; මා ලියු විරිදු පදවැල් ද මොහු කදිමට ගයනවා. ඒ නිසා මොහු මා ගේ ගුරුතුමා” යැ යි කී එතුමා යළිත් යාචකයා දෙසට දෑත් එකතු කොට ආචාර කෙළේ ය. උසාවිය යාචකයා ගෞරවාන්විත ව නිදහස් කැර හැරියේ ය. එදා ඒ යාචක විරිදු ගායකයා තම ගුරු තන්හි ලා සැලැකූ හෙතෙමෙ නමින් ජයන්ත වීරසේකර ය. ඔහු හෙළ බසේ දියුණුව සඳහා ශාස්ත්‍රීය ලිපි රැසක් ම ලියූ විද්වත් ලේඛකයෙකි. පුවත්පත් හා සඟරා කිහිපයක ම ප්‍රවීණ සංස්කාරකවරයෙකි. වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකි. ජාතික සංගමයේ සම ලේකම් ධුරය හොබවමින් රාජ්‍ය භාෂා සටන වෙනුවෙන් හා රටේ දේශපාලන නිදහස උදෙසා භාෂා පේ‍්‍රමියකු, දේශපේ‍්‍රමියකු ලෙසින් මහඟු මෙහෙවරක් යෙදුණු ඔහු 1941 වසරේ දී හෙළ හවුල බිහි කිරීමෙහි ලා නො වක් දායකත්වය ලැබ දුන් වියතෙකි. කොස්ගොඩ, අහුන්ගල්ල ග්‍රාමයේ හේ උපන්නේ ය. ඒ 1895 ජනවාරි මස 14 දා ය. කොස්ගොඩ ගල්වෙහෙර ගමේ සිංහල පාසලින් මූලික අධ්‍යාපනය ලද එතුමා කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ඇතුළත් වී භාෂා සාහිත්‍යය, ඉංගිරිසි ආදි විෂයයන් මැනැවින් උගත්තේ ය. අනතුරු ව මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ කහවේ ශ්‍රී රතනසාර හිමියන් ප්‍රධාන වියත් හිමිවරුන් වෙතින් ප්‍රාචීන භාෂා හා අභිධර්මය හදාළේ ය. අනතුරු ව ලිපිකරුවකු ලෙසින් රජයේ සේවයට බැඳුණු එතුමා ඉතා මත් කෙටි කලකින් ඉන් ඉවත් ව පියදාස සිරිසේන සූරින් ගේ සිංහල ජාතිය පුවත්පතේ උපකර්තෘ පදවිය හෙබැවූයේ ය. චතුර කථිකයකු ලෙස ද නමක් දිනු හෙතෙමෙ මුනිදාස කුමාරතුංගයන් ආදි සමකාලීන වියතුන් ගේ ඇසුරට ද පාත්‍ර වූයේ ය. ඉංගි‍්‍රසි පුවත්පත් කිහිපයක ද කටයුතු කළේ ය. ‘ජුලියස් ආර්. වීරසේකර’ යනු එතුමා ගේ මුල් නාමය විය. අනගාරික ධර්මපාලතුමා ගේ බලපෑම මත සිය මුල් නම අත්හැර දැමූ අපේ කතානායකයා ‘ජයන්ත වීරසේකර’ නමැති ආර්ය සිංහල නාමය භාවිත කළේ ය. ‘මෝනිං ලීඩර්, සරස්වතී, ලක්වැසියා, සුබස’ යන පුවත්පත් හා සඟරාවල ප්‍රධාන සංස්කාරකවරයා ව සිටි හෙතෙමෙ කුමාරතුංග මුනිදාසයන් ගේ ‘ලක් මිණි පහන’ පත්‍රයේ සහාය සංස්කාරක වූයේ ය. පැරැණි ග්‍රන්ථ සංශෝධනයෙහි ද ඇළුම් පෑ ජයන්ත වීරසේකරයෝ වෑත්තෑවේ හිමියන් ගේ ගුත්තිල කාව්‍යය සංශෝධනය කළහ. ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයයේ පැවැති කුකවි වාදයේ දී කුළුගැන්වුණු අදහස් සම්පිණ්ඩනය කොට සංඥාපනයක් සහිත ව “කුකවි වාදය” නමින් අගනා ලිපි සංග්‍රහයක් පළ කළේ ද ඔහු ය. බසට රැසට දෙසට වැඩ පතා මුනිදස් කුමරතුඟුවන් සුබැසියන් ගේ එකතුවක් කැරැවූයේ 1941 වසරේ දී ය. ඊට ‘හෙළ හවුල’ යන නම තැබුවේ ද වීරසේකරයන් ය. ඒ නාමය තැබීමේ දී කුමරතුඟුවන් සිනා සී කීවේ “මාත් නමක් හිතා-ගෙන හිටියා. ඒත් ජයන්ත තැබූ නමට එහා යන නමක් මට කල්පනාවට එන්නේ නැහැ” කියා යි. කුමරතුඟුවන් ගේ ග්‍රන්ථ සංස්කරණය, භාෂා, සාහිත්‍ය කටයුතු ආදිය පෙරටත් වඩා බලවත් ව පවත්වා-ගෙන යාමට ජයන්ත වීරසේකරයන් නිසා ම හැකි වී ඇතැ යි කියැවේ. තම නමින් මෙන් ම අන්වර්ථ නාමයන් ගෙන් ද අන් අය ගේ නමින් ද අපේ කතානායකයා සැපැයූ ලිපි ලේඛන අතිමහත් ය. එහෙත් එතුමා විසින් සම්පාදිත වූ එක ම කෘතිය වන්නේ ‘කුකවිවාදය’ නම් ග්‍රන්ථය යි. ජේ. ආර්. ජයවර්ධන, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ආදි දේශපාලන පතාකයන් ගේ සමීප ඇසුරට පාත්‍ර ව භාෂා සාහිත්‍ය සංවිධානවල මෙන් ම ජාතික දේශපාලන ක්ෂේත්‍රයෙහි ද එකල කැපී පෙනුණු එතුමා හෙළ හවුලේ නියෝජ්‍ය නායක ධුරය හොබවා කුමරතුඟුවන් ගේ ඇවෑමෙන් එහි නායක ධුරයට ද පත් වූයේ ය. ඒ 1944 - 1949 වකවනුවේ දී ය. කුමරතුඟුවන් ගේ ඇසුරින් ශාස්ත්‍රීය මඟට පිළිපන් එතුමා ගේ වාදයෙහි, සංවිධාන ශක්තියෙහි, භාෂාව හැසිරැවීමෙහි තුබූ මහා හැකියාව පළමුවරට හඳුනා-ගැනෙන්නේ ‘කුකවි වාදයේ’ දී ය. ඒ 1927 පෙබරවාරි මස 2 වැනි දා ය. තව ද එතුමා ‘සසදා විවරණය’ කිරිමේ දී කුමරතුඟුවන්ට හවුල්කරුවා වූයේ ය. ‘සුභාෂිත විවරණයෙන්’ පසු එතුමා කළ සියලු ලේඛනයන්හි එතුමා ගේ නැණ එළිය මොනොවට පසක් විණි. සුනිල් සාන්ත ගී හඬ හෙළ හවුලේ හඬ වූයේ ද එකල ටවර්හෝල් යුගයේ නමගිය ගීත සඳහා මනා කල එළියක් ලැබුණේ ද ජයන්ත වීරසේකරයන් නිසා ය. සිංහල ගීත සාහිත්‍යයක් ගොඩ නඟන්නට පුරෝගාමී වූ එතුමා 1946 දී “සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ” යන ගී පැබැඳුමින් සුනිල් ශාන්තයන් හා එක් වූයේ ය. එතුමා ‘සුබස’ සඟරාවට ලියූ අගනා ලිපි පෙළ සිංහලයේ විචාර කලාව උසස් මට්ටමකට ගෙන ඒමට හේතු වූ බව ද පැවැසේ. බසට රැසට දෙසට ජීවය දෙනු මිස මුදල් ඉපැයීමේ අරමුණක් වීරසේකරයනට නො තිබිණි. ඔහු ගේ සේවාවන් අතුරින් ‘පිය සමර’, ‘වවුලුව’ දෙපොතට ලියූ පෙරවදන් ද ‘කව් සිළුමිණි දෙසුම’ ද ‘අමාවතුර පිළිබඳ වැඩසටහන’ ද ‘කුකවි වාදය’ සැකැසුම ද සාහිත්‍යකාමින් ගේ පැසැසුමට අදටත් බඳුන් වී තිබේ. දේශපාලකයන් එතුමා සොයා පැමිණිය ද හෙතෙමෙ ඔවුන් කරා නො ගියේ ය. නිදහස් අරගලයේ ප්‍රතිඵල ඉක්මන් කැරැවීමට වීරසේකරයන් සිදු කළ මෙහෙවර සදානුස්මරණිය ය. කුමරතුඟුවන් ගේ දකුණත වූයේ ජයන්ත වීරසේකරයන් ය. කවියකු, ගීත රචකයකු මෙන් ම හරබර දෙසුමෙහි සමතකු වූ එතුමා මහා දැනුම් සම්භාරයකින් සභා අමතා සිත් ඇද-ගන්නා චතුර කථා විලාසය හේතුවෙන් එතුමා ගේ පෞරුෂය තුඩ තුඩ රැව් දිනි. තුරුණු වියෙහි දීම පියදාස සිරිසේන, වී. ඩී. ද ලැනරෝල්, මුනිදස් කුමරතුඟු වැනි වියතුන් ගේ සමීපතමයා ලෙසින් පසු වූ හෙතෙමෙ කවි නළු, බස් නියර, වෙද සතර හා නැකැත් සතර ද මනා ව හැදැරී ය. ඥානාර්ථ ප්‍රදීපය කතුවර මර්සලීන් ජයකොඩි පියතුමා මෙතුමා ගේ ශිෂ්‍යයෙකි. සිංහල ඉංගිරිසි පුවත්පත් රැසක කර්තෘ මාණ්ඩලික ව කටයුතු කරමින් වේල්ල වීදියේ පිහිටි මුද්‍රණාලයේ ද හෙතෙමෙ සේවය කළේ ය. එකල බොහෝ සිංහල පත්‍ර කර්තෘවරු තම පත්‍රයෙහි කර්තෘ වාක්‍යය ලියා-ගැනීමට ඔහු සොයා රහසේ පැමිණියහ. ඔහු ලියා දුන් කතුවැකිය රැගෙන යන කර්තෘවරු එය තම නමින් තම පුවත්පතේ පළ කැරැ-ගත්හ. ඇතැම් කතුවරු ඔහු ලියා දුන් සිංහල, ඉංගිරිසි කතු වැකි තම අත් අකුරින් ලියා මුද්‍රණයට යැවු බව ද පැවැසේ. ජේ. ඩී. මුද්‍රණාලය පිහිටියේ මරදානේ ය. එහි කළමනාකරු වූ එතුමාගේ වේගවත් ප්‍රකාශන ශෛලිය ද එදවස රටපුරා මහත් ආන්දෝලනයකට තුඩු දිනි. රට දැය සමයට මෙහෙවර කරනු මිස ලාභ සත්කාර බැහැර කළ වීරසේකරයන් එකල ජීවත් වූයේ මරදානේ කුලී නිවෙසක ය. දිනක් ජයන්ත වීරසේකරයන් ගේ කුලී නිවසට පැමිණ ආපසු රියක නැඟී ගිය වැදැගත් පෙනුමකින් යුතු තරුණයකු ඈත දී ම දුටු රැයිපියල් තෙන්නකෝන් සූරීහු ඒ කවරෙක් දැ යි විමැසූ හ. “ඒ ගොවිකම් ඇමැති ඩඩ්ලි සේනානායක මහත්මයා නෙ!” වීරසේකරයෝ කී හ. මේ බව රැ. තෙන්නකෝනුන් ලියු “ජයත් වග” කෘතියෙහි දක්වා තිබේ. එතුමා ගේ එක ම පුතා, ප්‍රවීණ සංගීතවේදියකු වූ සේන වීරසේකර ය. දැන් ඔහු මෙලොව හැර ගොසිනි. ජයන්ත වීරසේකයන් ගේ එක ම දියණිය පි‍්‍රන්සි විවාහ වූයේ ප්‍රකට ලේඛක බූස්සේ ටී. පියසෝමයන් සමඟ ය. මීට වසර කිහිපයකට උඩ දී නීතිඥ චන්ද්‍රසේන සෙනෙවිරත්න මහතා ඇය සමඟ ‘කතිකාව’ සඟරාවට කරන ලද පිළිසඳරක දී ඇය මෙසේ පවසා තිබිණි: ‘අපේ තාත්තා හරි ම සරල යි. හැම විට ම අපේ තාත්තා ජන සමාජයේ කටයුතුවල සිටියේ. ගෙදර රැඳුණු වාර අඩු යි. තාත්තා ගෙ දින පොත්වල ජේ. ආර්., ඩී. ඇස්., ජෝර්ජ් ඊ. ද සිල්වා, සර් ඩී. බී. ජයතිලක වැන්නන් හා එක් ව එකට වැඩ කළ අයුරු ලියා තිබෙනවා. උගත් භික්ෂු පිරිසක් ද තාත්තා ළඟ සිටියා. මගේ අයියා නම් මිය ගියා. මාත් මගේ ජීවිතයේ දැන් අග්ගිස්සේ ඉන්නේ. අපේ තාත්තා අපට හරි ම ආඩම්බරයක්.’ සිංහල, දෙමළ, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, වංග, හින්දි ආදි පෙරදිග භාෂාවන්හි අතිදක්ෂයකු වූ ඔහු ගේ ඉංගි‍්‍රසි, ලතින, ජර්මන, ගී‍්‍රක ආදි අපරදිග භාෂා දැනුම ද උගතුන් ගේ පුදුමයට ද හේතු විණි. බොහෝ කලක් වකුගඩු ආබාධයෙන් ද පෙළුණු ජයන්ත වීරසේකර පඬිවරයා අවුරුදු 54ක් ආයු වින්දනය කැරැ හදිසි හෘදයාබාධයකට ලක් ව සදහට ම නිහඬ වූයේ ය.

One thought on “හෙළ හවුලට නම දුන් ජයන්ත වීරසේකරයෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *