බස රැක-ගත් හෙළ හවුල

හෙළ හවුලට හැත්තෑ පස් වසරක් සැපිරීම නිමිත්තෙනි.

නිවැරැදි සිංහල භාෂා ව්‍යවහාරය නො කෙලෙසා ඉදිරියටත් පවත්වා-ගෙන යාමේ අරමුණෙන් 1941 ජනවාරි මස 11 වැනි දා කුමාරතුංග මුනිදාස පඩිවරයාණන් ගේ මූලිකත්වයෙන් ඇරැඹි හෙළ හවුලට මේ වසරේ ජනවාරි 11 වැනි දාට හැත්තෑ පස් වසරෙක් සැපිරිණි.

නිවැරැදි බස් වහර රැකැ-ගැනීමේ පිවිතුරු චේතනාවෙන් ඊට ම කැප වී ක්‍රියා කරන මේ සා දිගු ඉතිහාසයක් ඇති වෙනත් භාෂා සංවිධානයක් දක්නට නො ලැබේ.

“බසෙක් නම් රැසෙහි දිවිය යි; රැස පහළ වූයේ ඒ හා මැ යි; රැස වැඩෙනුයේ ද ඒ හා මැ යි; යළි නැසෙනුයේ ද ඒ හා මැ යි” යනුවෙන් කුමාරතුංගයන් බස අන් හැමට ම මුල් වන බව හෙළි කරමින් පැවැසූ ආදර්ශ පාඨය හෙළ හවුලේ හදවත බවට පත්වී තිබේ.

ඒ අනුව කළ යුතු කාර්යයන් වන බස සවිමත් ලෙස පවත්වාගෙන යාමට මං පෙත් පෑදීමත්, බස නසන මෙන් ම නැසෙන මං සොයා බලමින් ඒවා වළකා-ලීමට ඇවැසි පියවර ගැනීමත් නන් වෙසින් බස නසන්නවුන් පෙරට එන විට ඔවුනට නිසි පිළිතුරු දී මැඬැලීමත්, නිවැරැදි බස් මඟ හෙළි කොට එය පතුරුවා-ලීමත් සඳහා ඇවැසි මෙහෙවර ඉටු කැරැ-ලීමෙහි ලා හෙළ හවුල මේ දක්වා කැපැවීමෙන් පෙරමුණ ගෙන සිටී.

සැබැවින් ම හෙළ හවුල බස වෙනුවෙන් කරන මේ මහා මෙහෙවර පිළිබඳ බොහෝ දෙනකු තුළ පැහැදිලි අවබෝධයක් නොමැති බව අපට පෙනේ. ඒ බව වියත් බස් වහර රැකැ-ගනු වස් නො බා එඩිතර ව පෙරමුණෙහි සිටින මහ ඇදුරු සුචරිත ගමලතුන් වැනි මහ වියතුන් පවා හෙළ හවුල වෙනුවෙන් මෑත දී පුවත්පතෙකින් පළ කළ මතු දැක්වෙන අදහස්වලින් ද තහවුරු වෙයි.

“අද සිංහලය කොහි ද? පාසලේ, පිරුවනේ හා සරසවියේ හඩු ම හඩු සිංහලය ම ඉගැන්වේ. සරසවිවල කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය ආදී බොරු වෙස් ගත්තෝ කුණු ම කුණු හඩු ම හඩු කානු පල්ලේ සිංහලෙන් ලියති. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් බස් වසුරු දසත වපුරයි. කුමරතුඟුන් ගේ උරුමකරු වෙමැ යි දැපෙන හෙළ හවුල කුමක් කරයි ද? කිසිවක් කරන සෙයක් මට නම් නො පෙනේ. එය මා හද තවයි; දවයි. ආචාර්ය මහාචාර්ය ආදී ගරු ගම්භීර පට්ටම්වලට බියෙන් මේ පට්ටම් දරුවන් බස මරනු බලා මුවින් නො බැණ සිටීම නො සරි ය. වරක් අභියෝග කළ කල්හි ඒ කඩුකස්තාන බොරු බරවා කකුල් බව ඔප්පු වනු ඇත..”

මෙ වන් මත පළ වුව ද බසට කිසියම් පිරිපතක් පැමිණි හැම විටෙක ම වාගේ හෙළ හවුලේ වියතුන් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට පසුබට වී නැති බවට සාධක කොතෙකුත් ඉදිරිපත් කළ හැකි ය. එවන් අවස්ථා බොහෝවක ප්‍රතිචාර දැක් වූ වැඩි දෙනා හෙළ හවුලේ වියතුන් වුව ද ඒ නම්වලට මුලින් හෝ අගින් හෝ හෙළ හවුලේ නිල නාමය සඳහන් නො වීම නිසා ඔවුන් කරන මෙහෙය හෙළ හවුලේ මෙහෙයක් ලෙස නොපෙනීම මීට එක් හේතුවක් ලෙස දැක්විය හැකි ය.

මෙ රට වියත් බස් වහරට මෑත දී බර පතළ අභියෝග එල්ලවූයේ බසෙහි පණ නල වැනි වියරණයට එරෙහි ව ඉදු මඟින් මෙන් ම වක් මඟින් ද අභියෝග එල්ල කළ නූතන වාග් විද්‍යාවේදීන් කීප දෙනකු පතුරුවා හළ මත වාද නිසා බව නො සඟවා පැවැසිය යුත්තෙකි. ඔවුන් ගෙන් ඇතැමකු ගේ අදහස් මෙන් ම මතවාද බස මරමින් ලියන දුහුනනට පමණක් නොව ඇතැම් ඇදුරනට ද මහත් අනුබලයෙක් වී ය. ඒ නිසා සිදුවන හානිය දුටු වියත් බස අගයන සරසවි ඇදුරන් සිටිය ද ඒ වෙනුවෙන් බසක් නඟන්නට තරම් දිරියක් ඔවුන් ගෙන් බොහෝ දෙනකුට නො තිබිණි. ආයතන තුළ පවත්නා පුද්ගල සබඳතා මෙන් ම විවාදයක් පැන නැඟුණහොත් ඊට මුහුණ දීමට ඇති බිය වැනි හේතු ඒ කෙරෙහි බලපාන්නට ඇතැ යි සිතිය හැකි ය. එහෙත් එ වැන්නන් බස වෙනුවෙන් ඒ අවස්ථාවේ තමන් ගෙන් ඉටු විය යුතු වගකීම ඉටු නොකිරීම බසට ළැදියවුන් ගේ හද තවන්නක් වෙයි.
එසේ වුවද හෙළ හවුලට බසට වඩා මේ එක ද කරුණක් වත් වැදගත් නො වේ.

“සත්කරු ගත්කරු පමණ – ඔබ හට කරුණක් නො වේ
දෙවියකු කී දැයක් වත් – කරුණු නැති වැ නො අදහවු”

යන කුමරතුඟු මුනිදස් මහ උවදෙස ගුරු කොට ගන්නා ඒ මඟ අනුයන හෙළ හවුලේ වියත්තු කවර තරමේ කෙනකු ගේ වුව ද බස පිළිබඳ මතවාද නිර්දය ලෙස විමැසුමට ලක් කිරීමට පසුබට නො වෙති. එය පත් මඟින් හෝ පොත් මඟින් හෝ සඟනු මඟින් හෝ සමුළු මඟින් හෝ කැරෙන්නක් විය හැකි ය. එවන් අවස්ථාවක් පිළිබඳ කදිම නිදසුනක් මහ ඇදුරු ජේ.බී.දිසානායකයන් 1995 දී පළ කළ “සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය” නමැති පොතෙහි පළ වූ අයුරින් ම උපුටා දැක්වීම ප්‍රමාණවත් යැ යි සිතමි.

“කුමාරතුංග මහතා ගේ අනුගාමිකයෝ ද මා ගේ පිළිවෙත හෙළා දුටහ. ඔවුහු මගේ පොත මුල් කොට සමුළු කීපයක් පැවැත් වූ හ. වෙන් වෙන් වශයෙන් කමිටු පත් කොට එහි දොස් රැස් කළ හ. මගේ පොත හෙළා දුටුවන්ට උළෙල කීපයකදී සම්මාන ද පිදූ හ. හෙළ බස ඔසවුව පිණිස පැවැත්වෙන ‘සුබස’ නම් සඟනුවේ බොහෝ ලිපිවලින් මගේ පොතට පහර පිට පහර වැදිණි.” හෙළ හවුල කළ කී මෙවැනි කරුණු පිළිබඳ තතු කොතෙක් ඇතත් ඒ තතු දන්නෝ ඉතා දුලබය හ.

මෑත භාගයේ හෙළ හවුලේ වියතුන් බස වෙනුවෙන් පුවත්පත් මඟින් පමණක් කළ වාද විවාද සුළු පටු නො වන බව ඒවා කියැවූවෝ දනිති. අරීසෙන් අහුබුදුවන්, වි.ජ.මු. ලොකු බණ්ඩාරයන්, අනඳපිය කුඩාතිහියන්, අ.දො.චන්ද්‍රසේකරයන්, දි.වි.රිචඩ් සිල්වාණන්, ඊලියන් ද සිල්වාණන් වැනි කුමරතුඟු මඟ අගයන මහ වියතුන් සිය මත හෙළි කරමින් රට පතළ නම් ඇති ඇදුරන් මහ ඇදුරන් ඇතුළු වියතුන් සමඟ කළ කළ අපමණ වාද විවාද එහි ලා සිහිපත් කළ හැකි ය. ඒ.ඒ.පියරත්නයන් මෙ වන් වාද විවාද බොහෝවක් අළලා මෑත දී පළ කළ “පුවත්පත් වාද ලිපි” නමැති ග්‍රන්ථය කියැවූනට මේ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලැබී ඇතැ යි සිතමි.

හෙළ හවුල කළ මේ උදාර කාර්යය මෙන් ම හෙළ හවුලේ ඇතුළතුන් ගේ භාෂා ඥානයේ යථා ස්වරූපය දුටුවන් කළ කී දෑ මෙහි ලා සඳහන් කිරීම ද ආධුනිකයනට ප්‍රයෝජනවත් විය හැකි ය. “හෙළ හවුලෙහි නායකයා වූයේ භාෂා සාහිත්‍යයෙහි හසල බුද්ධියක් ඇති මුනිදාස කුමාරතුංගයි. හෙළ හවුලේ ශ්‍රාවකයන් ගෙන් වැඩි දෙනා වියරණ හා බස් වහර විසින් ද හික්මවනු ලැබුවෝය.” මාර්ටින් වික්‍රමසිංහයන් ‘ජපන් කාම කතා හෙවනැල්ලෙන්’ එසේ කියද්දී මහාචාර්ය විමල විජේසූරියන් කුඩාතිහියන් ගේ ‘න ණ ල ළ වහර’ පිළිබඳ විමැසුමෙක යෙදෙමින් හෙළ හවුල ගැන සඳහන් කරන අදහස ද විමසා බලනු වටී.

“සිංහල භාෂාවේ සාම්ප්‍රදායික රීතිය බොහෝ සෙයින් නිවැරැදි ලෙස හඳුනා-ගෙන එසේ හැඳින-ගත් භාෂා රීති සංයමයකින් ලේඛනයෙහි ලා ක්‍රමවත් ව භාවිත කරන වියතුන් පිරිසක් අද වුව ද අපට හමුවන්නේ උසස් අධ්‍යාපන ආයතනවල නොව හෙළ හවුලේ සාමාජිකයන් අතර වීම මහත් සැනැසිල්ලෙකි.” හෙළ හවුල ගැන හරි හැටි දන්නා වියතුන් දක්වන මෙවන් අදහස් ආධුනිකයන් ගේත් සෙසු වියතුන් ගේත් අවධානයට යොමු වන්නේ නම් කොතරම් අගනේ ද?

නොදන්නාකම හා නොසැලකිල්ල ද නිසා වියතුන් ලෙස පෙනී සිටින්නන් අතින් මෙන් ම පාසල් සිසුන් ඇතුළු දුහුනන් අතින් ද වැනැසී යන නිවැරැදි බස් වහර යළි මතු කැරැ-ගැනීමට නම් කුමරතුඟු මඟ හැරැ අන් මඟක් ඇතැ යි සිතිය නොහැකි ය. ඒ සඳහා කැප වී ක්‍රියා කරන එක ම ජීවමාන සංවිධානය හෙළ හවුල යි. නොකිලිටි බස් වහර රැකැ-ගනිමින් ඉදිරියට ද එය පවත්වා-ගෙන යනු කැමති භාෂා ප්‍රේමී හැම ගේ නොමඳ ආශිර්වාදය ඊට ලැබෙන්නේ නම් එය කොතරම් අගනේ ද?

Leave a Reply