කුමාරතුංග මුනිදාස ළමා පද්‍ය සාහිත්‍යයේ අනුධ්වනික පද භාවිතය

ක. ක. ගනුෂ්ක රන්දුල විසි වැනි සියවසෙහි හෙළ දිව වුසූ පඬිවරුන් අතුරින් කුමාරතුංග මුනිදාසයනට හිමි වනුයේ අන් කවරකුට වත් නො දෙ වැනි තැනෙකි. බහුනිපුණ චරිතයෙකින් හෙබි ඔවුන් නොයෙක් දෙනා හඳුනා-ගත්තේ නොයෙක් අයුරිනැ යි කීම වැරැදි නො වේ. වැඩි දෙනකු ඔවුන් දුටුයේ මහා ශාබ්දිකයකු ලෙසිනි; ඇතැමකු ඔවුන් දුටුයේ නිදහස් සටනේ මහ සෙනෙවියකු ලෙසිනි; තවත් පිරිසක් ඔවුන් දුටුයේ සම්භාව්‍ය සාහිත්‍ය විශාරදයකු ලෙසිනි; ඒ කිසිවක් ගැන නිනවුවක් නැති ළපැටියන් ඔවුන් දුටුයේ රසවත් ගී කව් කතා පබඳ සැපැයූ ලේඛකයකු ලෙසිනි. සිංහල සාහිත්‍යයේ චූල සම්ප්‍රදායයට ගොනු කැරුණු ජනශ්‍රැතික සාහිත්‍යයේ මුත් මහා සම්ප්‍රදායයට අයත් සම්භාව්‍ය සාහිත්‍යයේ ළමා සාහිත්‍ය නිර්මාණ ලෙස හඳුනා-ගත හැකි කිසිවක් නො විණි. මේ බව සිය සියුම් නුවණින් විමසා දැක නූතන සිංහල ළමා සාහිත්‍යයක් බිහි කිරීමට පුරෝගාමී වූ මහා පුරුෂයාණන් ලෙස කුමාරතුංග මුනිදාසයන් හැඳින්වීම සාධාරණ වේ. ඔවුනට සමකාලීන වූ ආනන්ද රාජකරුණාවන්, සිකීම් මහින්ද හිමියන් වැනි කිවියන් අතින් රස පිරි ළමා පැදි කෙතෙක් බිහි වුණ ද ළමා ගැදි යැ යි හැඳින්විය හැකි ප්‍රබන්ධ විශේෂයක් මුලින් ම රචනා වූයේ කුමාරතුංග මුනිදාසයන් අතින් බව පෙනේ. ඔවුන් අතින් ලියැවුණු ‘හත්පණ, මඟුල් කෑම, හීන් සැරය’ වැනි ළමා කතන්දර පොත් ද ‘කුමර ගී’ වැනි ළමා පැදි පොත් ද ‘ශික්ෂා මාර්ගය, කියවන නුවණ, අකුරු සැහැල්ල’ වැනි පාසල් පොත් ද සිංහල ළමා සාහිත්‍යය පෝෂණයෙහි ලා ඔවුන් ගෙන් ඉටු වූ අමිල මෙහෙයට දෙස් ව සිටී. කුමාරතුංග මුනිදාසයන් බඳු මහ පඬිවරයකු සුවිසිතුරු ළමා ලොවට බැස-ගත්තේ කෙසේ ද යනු ඔවුන් ගේ ම වදනින් ම කිය තොත් මහ පුදුමෙකි. මේ පිළිබඳ ව අදහස් දැක්වූ තිලෝකසුන්දරී කාරියවසම්, ඩී. වී. ජේ. හරිශ්චන්ද්‍ර වැනි විද්වතුන් පෙන්වා-දෙන්නේ ළමා මනස පිළිබඳ ව ඔවුනට තුබූ අවබෝධය නූතන මනෝවිද්‍යා ශාස්ත්‍රය හදාළ අයකුට ඇති ආකාරයේ සූක්ෂ්ම අවබෝධයක් බව යි. මේ ලිපියෙන් අරමුණු කැරෙන්නේ කුමාරතුංග මුනිදාසයන් ගේ ළමා පැදිවල උපයුක්ත අනුධ්වනික පද හා එබඳු පද භාවිතයේ මනෝවිද්‍යාත්මක පදනම පිළිබඳ නිරික්සුම් කිහිපයක් ඉදිරි පත් කිරීම යි. ‘අනුධ්වනික පද’ යනුයෙන් මෙහි ලා හැඳින්වෙන්නේ ඉංගිරිසි ලිවිසැරියෙහි ‘Onomatopoeic Words’ සහ ‘Echoisms’ යන පදවලින් හැඳින්වෙන ශබ්දාලංකාරය යි. මෙය බොහෝ විචාරකයන් ‘අනුකාරක ශබ්ද’ යනුවෙන් හඳුන්වතත් ‘අනුධ්වනික පද’ යන්න මුල් වදනින් අභිප්‍රේත අර්ථය වඩාත් ප්‍රකට කරයි. වාග්විද්‍යා විෂයක අධ්‍යයනවල ‘ප්‍රතිරාව්‍ය පද’ (Echo Words) යන වදනිනුදු මෙයට සම්බන්ධ සංකල්පයක් හඳුන්වා තිබේ. කෙසේ වෙතත් පීටර් චයිල්ඩ්ස් (Peter Childs) සහ ක්‍රිස් බොව්ලර් (Chris Bowler) වැනි විචාරකයන් මෙය නිර්වචනය කොට ඇත්තේ ‘අභිප්‍රේත අර්ථය හා සම්බන්ධ හඬක් ධ්වනිත කරන ශබ්ද සංයෝගයකින් නිර්මිත පද විශේෂයක්’ යනුවෙනි. ඒ අනුව අනුධ්වනික පද භාවිතය යනු රසික සිත්හි ශ්‍රව්‍ය රූප (Auditory Imagery) ජනනය කිරීමට සමත් ශබ්දාලංකාරයෙකි. කුමාරතුංග මුනිදාසයන් ගේ පද්‍ය සාහිත්‍ය විෂයක ආකල්ප විමර්ශනය කරත් ම පැහැදිලි වන ප්‍රධාන කරුණක් නම් පද්‍යයෙහි ආකෘතික ලක්ෂණ හා ශබ්දාලංකාර ආදියට වඩා ඔවුන් මුල් තැනක් දුන්නේ අර්ථ ප්‍රතීතියට බව යි. ‘විරිත් වැකියේ’ එක් තැනෙක විරිත යනු ‘තිරිසන් රසයෙකැ’ යි ද එළිසමය යනු ‘පිලිළයෙකැ’ යි ද ඔවුන් අතින් කියැවුණේ එබැවිනි. එහෙත් ළමා පැදි රචනයේ දී කුමරතුඟුන් මේ පිළිවෙතින් බෙහෙවින් බැහැර ව ගොස් තිබෙනු පෙනේ. ස්වකීය පද්‍ය රචනයෙහි වඩාත් පියතර වූ ගී විරිත් හා සිලෝ විරිත් වෙනුවට කෙටි සිවු පද විරිත් භාවිත කෙරෙමින් එළිසම, අනුප්‍රාස, අනුධ්වනික පද වැනි ශබ්දාලංකාර නොමසුරු ව යොදා ළමා පැදි රැසැයීමට ඔවුන් පෙලැඹී තිබේ. මේ වනාහි ස්වභාවයෙන් ම ශබ්ද රසය කෙරෙහි ළමා සිත්හි ඇති ඇල්ම පිළිබඳ අවබෝධයෙන් කරන ලද්දක් බව පෙනේ. කුමාරතුංග මුනිදාසයන් ගේ ‘කුමර ගී’ අතර එන ‘උදය’ පැදි පෙළ ද ඉතා විශිෂ්ට කාව්‍ය ප්‍රයෝගයක් ලෙස අනුධ්වනික ශබ්ද භාවිත කළ නිර්මාණයෙකි. උදයෙන් ම අවදි වීමේ යහපත් පුරුද්ද ළමා සිත්හි පිහිටුවනු වස් කැරුණු උදය වැනුමක් වන මෙහි, උදයේ කපුටන් හඬ දෙන බව වක්‍රෝක්තික ව දැක්වෙන්නේ කවුඩු බස අනුකරණයෙන් පෑමෙනි. ඒ විනා ‘කපුටු’ යන වදන පැදි පෙළෙහි කිසි තැනෙක යොදා නැත. උදයේ කපුටන් හඬ දෙන්නේ දැන් ම නින්දෙන් නැඟෙවු යන විධානය දෙන්නට මෙනි. “ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන් - නැඟෙවු කියන්නා වැනි දැන් මැ නින්දෙන් දොරින් අඩක් මේ ඇරියා මැ එන්නේ - සිහිල් සුළං ආයුබෝවන් කියා මෙන්” ‘කුමර ගී’ අතරෙහි ම එන ‘ලේනා’ නම් පැදි පෙළ ලේනකු දැකීම නිසා කුඩා ළමයකු ගේ සිතෙහි උපන් අහිංසක සිතිවිලි පෙළක් (Stream of Consciousness) ලෙස ඉදිරි පත් ව තිබේ. ළපැටි සිත්හි පරිසරය පිළිබඳ සූක්ෂ්මාත්මතාවක් ඇති කිරීමේ අටියෙන් කැරුණු මේ නිර්මාණයෙහි ලේනා ගේ හඬ ‘ටිං ටිං’ යන අනුකරණයෙන් දක්වා ඇත්තේ පැදි පෙළට සජීව ගුණයක් එක කෙරෙමිනි. ලේනා නිදහසේ අතුපතර සැරි සරමින් පලවැල බුදිනු දක්නා දරුවා සතුටු වෙයි. “ලෙනේ ඔබ පා නිදහස - ටිං ටිං ගාමින් මේ ලෙස බුදිමින් හොඳ හොඳ පල රස - සිටිනු දකින මට වෙයි තොස” කුමාරතුංග මුනිදාසයන් ගේ ‘කියවන නුවණ’ පොත් පෙළ ළපැටියන් ගේ අක්ෂර ශික්ෂණය පිණිස කැරුණේ වෙයි. වෙහෙසකින් තොර ව ළමයිනට අකුරු හුරු කිරීම සඳහා ප්‍රයෝගයක් ලෙස කුමරතුඟුන් එහි යොදා-ගන්නේ මනහර පැදි ගොන්නෙකි. අනුනාසික්‍ය අක්ෂර ඉගැන්වීම සඳහා විරචිත පහත පැදිය ‘කියවන නුවණ අග බිලිඳු පොතෙහි’ එන්නෙකි. සත්ත්ව නාදවලට අමතර ව ළපැටියනට සමීප පන්සල වන් පරිසරයෙක ඇසෙන ගංටා නාදය හා බෙර හඬ ද මැනැවින් අනුප්‍රාස වන ලෙස සංයෝග කිරීමෙන් කුමාරතුංගයෝ ළමා සිත්හි ශ්‍රව්‍ය රූප මවන්නාහු අකුරු ඉගැනීමෙහි වෙහෙස දුර ලති. මෙහි ගංටා නාදය ලෙස දක්වා ඇති ‘ඩිං ඩොං’ යන්න කුමාරතුංගයන් ඉංගිරිසි ළමා පැදියෙන් ලබා ඇති ආභාසය පෙහෙළි කරයි. ‘Ding Dong Bell’ යනු ප්‍රකට ඉංගිරිසි ළමා පැදියක මුල් පද පෙළ යි. “ගංටා නාදේ - ඩිං ඩොං ඩිං ඩොං දවුලේ නාදේ ඩං ඩුං ඩං ඩුං මී මැස්සන් ගේ - රුං රුං නාදේ ලේනුන් ගේ ඒ - ටිං ටිං ටිං ටිං” ළදරුවන් ගේ භාෂා උපාර්ජනය (Child Language Acquisition) පිළිබඳ පර්යේෂණ පැවැත්වූ මනෝවාග්විද්‍යාඥයන් උපාර්ජන ක්‍රියාවලියෙහි නොයෙක් අවධීන් හඳුනා-ගෙන තිබේ. ඒ අතරින් ප්‍රධාන අවධියක් වනුයේ ‘බල්බලන අවධිය’ (Babbling Stage) හෙවත් ‘සත්ත්ව නාද අවධිය’ (Animal Cry Stage) යනුවෙන් හැඳින්වෙන අවධිය යි. භාෂා ශබ්ද සන්තතීන් නිපැදැවීමට තරම් උච්චාරණ ඉන්ද්‍රීයයන් පරිපාකයට නො පත් මුල් අවධියේ දී දරුවන් සිය හැඟීම් පළ කරන්නේ හැඬීමෙන් හා සතුන් මෙන් කේවල ශබ්ද නිපැදැවීමෙනි. එබැවින් ඒ අවධිය ඉක්මැවූ පසු ද යම් කලක් ගත වන තුරු තම පරිසරයේ ඇසෙන සත්ත්ව නාද කෙරෙහි ළපැටියෝ සංවේදීතාවක් දක්වති. තමන් අවට පරිසරයේ වෙසෙන සතුන් හැඳින්වීම සඳහා සත්ත්ව නාද අනුකරණයෙන් නිර්මිත ‘බව්වා’, ‘ඤාව්වා’ වැනි අනුධ්වනික පද ළදරු බසෙහි (Baby Talk) කොතෙකුත් අසන්නට ලැබෙන්නේ මෙහෙයිනි. කුමාරතුංගයන් ඉහත පැදිවල ‘කා කා’, ‘ටිං ටිං’ යන සත්ත්ව නාද අනුකරණයන් දක්වා ඇත්තේ මෙකී මනෝවාග්විද්‍යාත්මක තතු පිළිබඳ ව තුබූ සූක්ෂ්ම නිරීක්‍ෂණය නිසා යැ යි ඉඳුරා ම කිය හැකි ය. ළදරුවන් ශබ්ද උපාර්ජනයේ දී පළ කරන නාද අනුකරණ ලක්ෂණය අක්ෂර ශික්ෂණයේ දී භාවිත කිරීම මනා සම්‍යක් ප්‍රයෝගයෙකි. ප්‍රතිරාව්‍ය පද (Echo Words) යනුවෙන් වාග්විද්‍යාඥයන් හඳුන්වන්නේ නාද අනුකරණයෙන් නිර්මිත පද යි. මෙවැනි පද ගොන්නක් ඕනෑ ම ජීවමාන භාෂාවෙක දැක්ක හැකි ය. සිංහලයේ නම් ‘කාක්කා, කොහා, කොකා, දඩිබිඩිය, කසුකුසුව’ යනු එවැනි වදන් ය. අනුධ්වනිකත්වය (Onomatopoeia) නම් ශබ්දාලංකාරය ඇති වන්නේ එබඳු පද පද්‍ය නිර්මාණයන්හි අර්ථ දීපනය පිණිස භාවිත කිරීමෙනි. නව වදන් තැනීමෙහි නිපුණයකු හෙවත් නව වාක්කාරකයකු (Neologist) වූ කුමාරතුංගයන් ළමා පැදි රචනයේ දී රිසි පරිදි අලුත් ප්‍රතිරාව්‍ය පද නිපදවා-ගෙන ඇති බවක් පෙනේ. ‘කියවන නුවණේ’ එන ‘කාක්කාකුව’, ‘කුක්කු කූව’, ‘කුහු කුහුව’, ‘ටික් ටිකිය’ යන මැයින් යුතු පැදි ඊට නිදසුන් සපයයි. ‘කාක් කාකුව’ යනු කපුටකු ගේ දෘෂ්ටියෙන් ඉදිරි පත් වන්නෙකි. රැ. තෙන්නකෝනුන් ගේ ‘වවුලුවෙහි’ සඳහන් වන පරිදි වවුලා ගේ බස ‘වවුලුව’ වන්නා සේ කාක්කා ගේ බස ‘කාක්කාකුව’ වෙයි. ‘කුක්කු කූව’, ‘කුහු කුහුව’, ‘ටිකි ටිකිය’ වැනි සෙසු පදත් එසේ ම නිමැවුණේ වෙයි. ‘කුක්කු කූව’ කුකුළා ගේ බස යි. ‘කුහු කුහුව’ කොහා ගේ බස යි. ‘ටිකි ටිකිය’ ඔරලෝසුවේ බස යි. අනතිවිස්තීර්ණතාව පිණිස ‘කියවන නුවණ 1 වැනි පොතේ’ එන ‘ටිකි ටිකිය’ පැදි පෙළෙන් පමණක් නිදසුනක් මතු දැක්වේ. “ටික් ටික් ටික් ටික් - කටයුතු ටික ටික නොමැළි ව කළ හොත් - සැප වෙයි සහතික කල ටික ටික යයි - ටික් ටික් ටික් ටික් ගිය කල නැවැතත් - නො බලයි මේ දික්” ඔරලෝසුවේ තත්පර කටුව නංවන ‘ටික් ටික්’ නාදය අනුකරණයෙන් නිර්මිත මේ පද්‍යයෙහි කාලය නාස්ති නො කළ යුතු බවට ළපැටියනට ඔවදනක් සැපැයෙනුයේ ඔරලෝසුවේ ‘ටික් ටික්’ නාදය පවසන්නේ කාලය ටික ටික ගෙවෙන බව යැ යි දක්වමිනි. යම් පදයක් එක ම තැන නැවැත නැවැත යෙදීම වාග්විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘ද්විරූප කරණය’ (Reduplication) යන නාමයෙනි. එනම් ඉහත වැකියේ ‘නැවැත නැවැත යෙදීම’ යන තැන ‘නැවැත’ යන පදය දෙවරක් යෙදී ඇත්තා සේ ය. අවධාරණය ඇති කිරීම පිණිස විශේෂණ පදත් මිශ්‍ර ක්‍රියා සාධනය පිණිස පූර්ව ක්‍රියා පදත් ද්විරූප කරණය සිංහල භාෂාවේ රටාවෙකි. සකු ලිවිසැරියේ පුනරුක්තිය (Repetition) දෝෂයක් ලෙස දැක්වෙතත් ඉංගිරිසි ලිවිසැරියේ පුනරුක්තිය අලංකාරයක් ලෙස සැලැකේ. කුමාරතුංගයන් ගේ ළමා පැදිවල අනුධ්වනික පද භාවිතයේ ද මෙකී ද්විරූප කරණ රටාව දක්නට ලැබේ. මෙහි ලා නිදසුන් ලෙස උපුටා දැක්වුණු එක දු පැදියෙක අනුධ්වනික පදයක් එක් වරක් පමණක් යෙදී නැත. ඒවා හැම විට ම යෙදී ඇත්තේ යුගල වශයෙන් ‘කා කා හඬ,’ ‘ටින් ටින් ගාමින්’, ‘ඩිං ඩොං ඩිං ඩොං’, ‘ඩං ඩුං ඩං ඩුං’, ‘රුං රුං නාදේ’ ඈ විසිනි. මෙය ඉංගිරිසි ළමා පැදිවල ද අනුධ්වනික පද භාවිතයේ දක්නට ලැබෙන ලක්ෂණයෙකි. ‘Baa Baa Black Sheep’, ‘Twinkle Twinkle Little Star’, ‘Hickery Dickery Dock’, ‘Humpty Dumpty’ වැනි නිදසුන් කොතෙකුත් ඉංගිරිසි ළමා පැදිවල හමු වේ. යම් දෙයක් නැවැත නැවැත කිරීමට හෝ නැවැත නැවැත කීමට හෝ යමකු සිතෙහි පැන-නඟින නිරුත්සාහක බල කිරීම් ග්‍රස්තික තත්ත්ව (Obsessional States) යනුවෙන් මනෝවිද්‍යාවේ හැඳින්වේ. වැඩිහිටියන් ගේ ග්‍රස්තික තත්ත්ව යම් ආකාරයක ස්නායු ව්‍යාධියක් වුව ද ළමයින් ගේ ක්‍රීඩා, ක්‍රියා, සංකල්ප ආදියෙහි ග්‍රස්තික තත්ත්ව යනු වර්ධනයෙහි ස්වාභාවික ලක්ෂණයක් බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා-දෙති. ඩී. වී. ජේ. හරිශ්චන්ද්‍රයන් දක්වන පරිදි ළමා මනසෙහි පවත්නා ග්‍රස්තික ස්වභාවය හේතුවෙන් එක ම පදය පුන-පුනා යෙදෙන පැදි නිතොර ගැයීමට ළපැටියෝ පෙලැඹෙති. එසේ මනසෙහි නිදන් ව පවත්නා ග්‍රස්තික තත්ත්ව ගී කව් කීම වැනි සමාජ සම්මත ක්‍රියාවකින් නිදහස් කොට හැරීම ළමා මනසට සුවදායක වේ. කුමාරතුංගයන් ගේ ළමා පැදිවල අනුධ්වනික පද පුන-පුනා යොදා ඇත්තේ ළමා චර්යාවෙහි ග්‍රස්තික තත්ත්ව පිළිබඳ ව ඔවුනට තුබූ සූක්ෂ්ම නිරීක්‍ෂණය නිසා යැ යි ඉඳුරා ම කිය හැකි ය. මනෝවිද්‍යා සංකල්ප පිළිබඳ අනවබෝධයෙන් හෝ ළමා චර්යා පිළිබඳ ව තුබූ සූක්ෂ්මාත්මතාව නිසා ජනප්‍රියත්වයට පත් ළමා පැදි සමූහයක් ම රචනා කිරීමට කුමාරතුංගයන් සමත් ව තිබේ. පද්‍ය රචනයෙහි ලා එතරම් නොවැදැගත් ලෙස තමන් සැලැකූ ශබ්දාලංකාරවලට ළමා පද්‍ය රචනයෙහි ලා කුමාරතුංග මුනිදාසයන් මේ සා වැදැගත් තැනක් හිමි කැර දුන්නේ මන් දැ යි පැහැදිලි ය. එනම් ඔවුන් ගේ ළමා පැදිවල අනුධ්වනික පද ආදිය භාවිතය වූකලි ළමා මනස පිළිබඳ මනා අවබෝධයෙකින් යුතු ව කරන ලද්දෙකි. මෙහි විමර්ශනය කැරුණු නො කැරුණු ළමා පැදි බොහෝ ගණනක් මේ සඳහා නිදසුන් ලෙස නැඟී-සිටී. සත්ත්ව නාද අනුකරණ, පාරිසරික ශබ්ද ආදිය අනුධ්වනික පද ලෙස පුනරුක්ත ව යෙදීමෙන් ළමා සිත දිනා-ගැනීමට ඔවුන් සමත් ව තිබේ. ළමා ලොවෙහි සැබැවින් ජීවත් වූවකුට විනා පුහු පණ්ඩිත මානයෙන් දැපෙන්නකුට එවැනි හපන් කමක් කළ නොහෙන බව ප්‍රත්‍යක්ෂ ය. මේ වනාහි කුමාරතුංග මුනිදාසයන් ගේ බහුනිපුණ චරිතයෙකින් අසින් අසෙකි. වත්මන් ළමා පැදි රචකයනට ඔවුන් ගෙන් ලද හැකි ආදර්ශ බොහෝ ය.

One thought on “කුමාරතුංග මුනිදාස ළමා පද්‍ය සාහිත්‍යයේ අනුධ්වනික පද භාවිතය

  1. All the books authored by Cumaratunga Munidasa for children had been done with a great awareness of the ‘simple and growing up’ minds of such children. These books never get outdated. It is essential to make these books available to the present day children.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *