බස කෙලෙසීම

2013 සැප්තැම්බර 08 වැනි දා සිළුමිණ පතට හේමසිරි කුමාරණතුංගයන් සැපැයූ ලිපියෙකි.

http://www.silumina.lk/punkalasa/20130908/_art.asp?fn=ar1309088

බස ජාතියක ජීවය යි. බසින් පිරිහුණු ජාතියක් කිසි මැ කලෙක සියත් වැ හිස ඔසවා නැඟී සිටින්නේ නැත. යටත් විජිත යුගයේ සිංහලයට ද වූ මේ විපත දුටු දෑ හිතැති පිරිස බස ඔසවා ලීමෙහි නිරත වූහ. ඒ අතින් ගුරු දෙවි කුමරතුඟු මුනිදසුන් කළ මෙහෙය අසමසම යැ.

1937 දී පළ කැරැවුණු ව්‍යාකරණ විවරණයේ සඥාපනයෙහි ඔවුන් සිංහල බසේ පිරිහීම පිළිබඳින් මෙ සේ අදහස් දක්වා ඇත.

“රීතියක් නීතියක් නැති ජන සමාජය මෙන් මැ භාෂාව ද අවුලින් අවුලට වැටෙයි. සිංහල භාෂාවට මේ විපත්තිය එබී සිටී. වළකන ප්‍රයත්න දැන් මැ වුව මනා යැ.”

“දැන් දැන් ඇතැමකු ව්‍යාකරණය අනවශ්‍ය කොටැ සලකන්නා සේ පෙනේ. අජීර්ණයෙන් පෙළන්නාට ආහාරය කරදරයෙකි. ශබරයාට වස්ත්‍රය සිනාවට කාරණයෙකි. ඒ නයින් බලන කලැ ව්‍යාකරණය නුරුස්නවුන් ඇතිවීම පුදුමයක් නො වේ. එහෙත් ශිෂ්ට වූ ජන සමාජයේ භාෂාවට ව්‍යාකරණය අතිශයින් අවශ්‍ය යැ. සමාජ නීති කඩන්නට අවසර ඇත් නම්, සාහසිකයෝ සතුටින් ඉපිලෙති. ඔවුන් ගේ සතුට හෝ පහසුව හෝ සලකා සමාජ නීති කැඩීම වරදක් නො වන සේ සලකන්නට වුව හොත්, ශිෂ්ට සමාජයේ කෙළවර එ තැනින් ඇරැඹේ………. එහෙත් මෙ රටැ වනාහි භාෂා රීති නීති ආදියෙහි ලා වෙනසෙක් වේ. නොදැනීම පණ්ඩිතකම යැ. දැනීම විහිළුවෙකි.”

එදා සිංහල බසට එබි සිටී යැ යි ඔවුන් කී ඒ විපත අද සිංහල බසෙහි පතුළට මැ කිඳා බැස ඇත. අද සිංහලය පිළිබඳ උසස් සහතික ලැබෙන්නේ, ලියන කඩදාසියෙක පිටුවක් පිරෙන්නට නිවැරැදි සිංහලයෙන් යමක් ලියා පාන්නට බැරි ඇත්තනට බව පුවත් පත් ආදියෙහි නිතර පළ වන ලිපි කියවන විට පෙනී යයි. න, ණ, ල, ළ වෙනස සැලැකීම නො වුව මනා යැ යි කියන්නේ ඒ අකුරු හතර නො හඳුනන්නෝ මැ යැ. අපේ හෝඩියෙහි එන ත, ද, න, ට, ඩ, ණ යන අකුරු හය බැලුව මැනැවි. අකුරු කියවන කලැ දිව උඩු ඇන්දේ දත්වල පැහැසී කියැවෙන අකුරු ත, ද, න, යැ. දිව උඩු තල්ලේ පැහැසී කියැවෙන අකුරු ට, ඩ, ණ, යැ. එයින් න, ණ යන අකුරු දෙකක් නුවුව මනා යැ.

එකක් සෑහෙන්නේ යැ යි කියන්නෝ, එ සේ නම් ත, ට, යන දෙකකුත්, ද, ඩ, යන දෙකකුත් නො වුව මනා යැ යි ඔවුන් ගේ කියමනින් හැඟැවෙන බවක් නො දනිති. න, ණ දෙකෙහි ඇත්තේ ත, ට, දෙකෙහි මෙන් මැ ද, ඩ, දෙකෙහි ද ඇති වෙනස මැ යැ. සිංහලයෙහි මුදුනු අකුරු හල් වැ නො සිටී. ගුණ, උණ, බණ, පරණ, තොරණ වැනි වදන්වලැ බුහු බස ගුන්, උන්, බන්, පරන්, තොරන්, යැයි නො සිටී. එක උණ ගසත් උණ යැ. ගස් වැඩි ගණනක් වුව ද ඒ උණ ගස් යැ. උන් ගස් නො වේ. පරණ පොත, යන තැන ද පොත් වැඩි ගණනක් ගැන කියැවෙන විට පරන් පොත් යැ යි කියන්නේ නැත. බලු යන පියෙවියට ආ විබත එක් වූ විට බලු + ආ > බල්ලා යැ. ඒත් එළු + ආ > එල්ලා නොවේ. එළුවා යැ. එ හෙයින් න, ණ, ල, ළ වෙනස එපා යැ යි කියන්නෝ උගත්කම ගැන කො තරම් සහතික ලද්දවුන් වුව ද මේ වෙනස නොහඳුනන්නෝ යැ.

එ සේ මැ බාර – භාර යන වදන් දෙකෙහි වෙනස හඳුනන්නවුන් ද ඉතා අඩු බව අද පුවත් පත් කියව විට බහුල වැ දක්නට ලැබෙන්නකි. බාර යනු පැවැරුම යි. භාර නම් බර යි. මේ වෙනස නොහඳුනන්නෝ බාරදීම වෙනුවට භාරදීමක් ද කෙරෙති. අස්ප – අශ්ව, යන දෙ වදන මෙ බඳු වෙනසක් පෙන්වන තවත් තැනෙකි. අද පාසල් සිසුවකු අස්පයා යැ යි ලියුව හොත්, ගුරුවරයා එය වැරැදි ය යි කියා අශ්වයා යැ යි ලියන්නට උගන්ව යි. ඒත් ඇත්ත ඇති සැටියේ සලකතොත් එ තැන වරද කරන්නේ ගුරුවරයා යි. සිසුවා නො වේ. අසු යනු ඉක්මන් යන අරුත. හොඳ සිංහල වදනකි. “අසුර ගහනවා” යන තැන දු ඒ පෙනෙයි. ඉක්මනින් පා තබා මහ වෙයින් දිවෙන සතාට සිංහලයන් අස්පයා යැ යි කීයේ නිවැරැදි අරුතක් ඇති වැ මැ යි. අසු + පයා > අස්පයා යි. අශ්ව යනු සකු වදන යි. සිංහල නොවේ. මේ සිංහල රටෙහි අස්පයන් සිටියේ සකු බස පහළ වන්නට කලිනි. අදත් බඩු මිල වේගයෙන් ඉහළ යනු දකිනට ගැමියා කියන්නේ, “ඒවා දැන් අස්ප ගණන්” කියා යි. ඒත් පාසල් ගුරුවරයා සිසුවා ගේ අස්ප යන වදන වැරැදි යැ යි කියා අශ්ව යන සකු වදන ලියන්නට හුරු කරවයි. එයින් අස්ප වේගයෙන් ම ලොකු වරදක් සිදු වේ. සකු වදන උසස් යැ, නිවැරැදි යැ, හෙළ වදන පහත් යැ, වැරැදි යැ, යන නිවට හැඟීමක් සිසුවා ගේ හිතට ඇතුළුවීම ඒ මහ වරද යි.

එ සේ නිවට බවට වැටුණු මනස ඇත්තවුන් දැන් සිංහල වදන් පමණක් නො වැ සකු වදන් ද වරදවා ලියන තැනට වැටී ඇති බව ද බොහෝ විට දක්නට ලැබේ. ත්‍යාග ප්‍රදානෝත්සවය යන්න ත්‍යාග ප්‍රධානෝත්සවය යැ යි ලියැවෙන්නේ එ වැන්නන් අතිනි. මහ පණ අකුරක් නැති තැන සකුවක් කොයින් දැ යි ඔවුනට සිතෙනවා විය හැක.

කට වහරේ නො පවතින බසෙකින් වේදය ලිවිය යුතු යැ යි සලකා බමුණු පඬුවන් විසින් පසු කලෙකැ සකස් කැරැ ගන්නා ලද සංස්කෘතය දෙව් බස යැ යි හැඳින්වුණු හෙයින් ඊට පැරැණි බසක් වූ සිංහලය සකුවෙන් බිඳී ආ බසක් ලෙස සැලැකීම ද ලොකු නම්බුවකැයි සිතා, සකුව මව් බස යැ. සිංහලය දූ බස යැ යි සලකන ලද්දේ ම මනසින් නිවට බවට වැටුණවුන් විසිනි. අද ඉංගිරිසියට ගැතිකම් කරන්නවුන් සෙයින් එ දා සකුවට පාලියට ගැතිකම් කළ පිරිසක් සිටි බව ද පෙනෙයි.

“එ බැවින් එළුවෙන් කීව යිඅනදර
නො වෙමින් බැතියෙන් අදරින්නමකර
සතොසින් ඇසුවොත් මෙ දහම්මනහර
සැබැවින් සිදු වෙයි සග මොක් සිරිසර”
යැ යි එ දා වීදාගම හිමියනට කියන්න සිදු වූයේත්,

“පහළ පොරණ ඉසිවර මුවිනිමනනඳ
දෙමළ සකු මගද නො හසළ සතටදද
පුවළ නීති සත ගත පද අරුත්ලෙද
සිහළ බසින් සැකෙවින් කියමි පදබැඳ” යි අලගියවන්නයන් කීයේත් ඒ නිසා මැ යි. සිංහල උගතා ‘දද’ හෙවත් මෝඩ, නූගත්, කෙනකු ලෙස සැලැකෙන තැනට වැටී සිටි සැටි ‍එයින් පෙනේ.

කෙ‍ සේ වෙතත් එ දා සිංහල උගතා බස නිවැරැදි වැ ලියන්නට උනන්දු වී යැ. අද ඒ තත්වය ද බිඳ වැටී ඇති බව පෙනෙයි. එයට මඟ පාදන ලද්දේ ඉංගිරිසි පාලකයන් විසිනි. ඉංගිරිසි පාලන කාලයේ මෙ රටැ සරසවිය පිහිටුවන ලද්දේ සිංහල බස වැඩිදියුණු කිරීමට නො‍ වේ. එ හෙයින් සැබෑ සිංහල උගතුනට එහි තැනෙක් නො ලැබිණ.

එයින් හෙළ බසට වන හානිය පැහැදිලි කෙරෙමින් එ දා සරසවි පුවසුරු තන්හි සිටි ඉංගිරිසි ජාතික සිරිමත් අයිවර ජැනිංසු දකුතුරුවනට කුරතුඟු මුනිදසුන් ඉදිරිපත් කළ පහිණයේ එන කොටසෙකි මේ.

“I never expect even a man of your erudition and experience to per for the Herculean task of cleaning the Augean tables in a single day. It is not even improbable that your will spend the whole of your official tenure without being able to get at the real truth with regard to the teaching of the oriental languages in your university. A day of reckoning will come. It may be in a year or it may be in a century. When it does come the people will know that a year ago or a century ago there was a man who in a fit of midsummer madness endeavoured to convince the then Principal of the university College who did not know a letter of Sinhalese Pali or Sanskrit, that in Ceylon it is quite possible for one with a smattering of these languages to gain university honours in them and even to be employed as a professor or a lecturer.”

“මහ ඉඹුරු වනය එක වරුවෙකින් ඉදිරීමේ ගොළු ඉඹුරු මෙහෙය ඔබ මෙන් හික්මුණු බැහැසුණු තැනෙකින් වත් මම නො පතමි. ඔබ ගේ සරසවියේ පෙරදෙසි බස් ඉගැන්වීම පිළිබඳ හරි ඇත්ත දැනැගන්නට නො ලැබැ මැ ඔබ ගේ මුළු නිල කල ගෙවෙන්නට වනු ද නොබැරි යැ. විනිසිනුම් දිනයෙක් එයි. වසෙකින් වේ වා, සීයෙකින් වේ වා එයි. එය ආ විටැ මිනිස්සු එකක් දැනැ-ගනිති. වසකට පෙරැ නොහොත් සියයකට පෙරැ මහ නියං උමතු ඇවිසුමක් නිසා එ කලැ සරසවි කුලාජියේ ඉසුරාණනට – හෙළු, පාළි, සකු, නොදත්තාණනට – එක් කරුණක් වටහවන්නට – හෙළ දිවැ එ බස් යම් තම් දිවැ ගා-ගත්තකුට ඉන් සරසවි මාන ලබන්නටත් පුවසුරුවකු හෝ වදාරුවකු හෝ වන්නටත් ඉඩ ඇති බව හඟවන්නට – යැතෑ මිනිසකු වූ ඔබ දැනැ-ගනිති.”

එ සේ කුමරතුඟු මුනිදසුන් එ දා කළ හැඟැවුම අද මිනිසුනට දැනැ-ගන්නට ලැබී ඇත. ඒත් එ දා ඔවුන් පෙන්වා දුන් වරදින් මිදෙන්නට නිසි තැතත් කැරෙන බවෙක් නො පෙනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *