කුමාරතුංග මුනිදාසයෝ අකාලික යි!

Hemasiri Kumarage හෙළ හවුලේ අනුසසු, හේමසිරි කුමාරණතුංගයෝ 1. කුමාරතුංග මුනිදාසයන් අනුස්මරණය කළ යුත්තේ ඇයි? හෙළ බසට අනුපමේය සේවයක් කෙළේ එ තුමා යි. බසට පමණක් නො ව බස, රැස, දෙස යන තෙරුවන ම නඟාසිටුවීමට මූලික ව කටයුතු කෙළේ එ තුමා යි. යටත් විජිත යුගයේ සිංහල භාෂාව තුබුණේ වහල් බසක් හැටියට. ඒ වහල් බවින් මුදා ගෙන බස ජාතියක ජීවය බව පළමු වරට පෙන්වා දුන්නේ එ තුමා යි. බස දියුණු වුව හොත් ජාතිය දියුණුවන බව ද බස නැසුණ හොත් ජාතිය ද වැනැසී යන බව ඉතා පැහැදිලි ව පෙන්වා දුන්නේ කුමාරතුංග මුනිදාසයන්. එ තුමා ඒ හැම දෙයක් ම කෙළේ ඉතා ම අවංක චේතනාවෙන්, රජයෙන් සතයක් වත් ආධාරයක් නැති ව. විදුහුරු දියුණුවත් එක්ක එයට ඇවැසි වදන් ඉතා නිවැරැදි ආකාරයට එ තුමා නිර්මාණය කළා. හෙළ බසෙහි වියරණය නො බිඳ එහි ශක්තිය විදහා දක්වමින් එ තුමා කළ සේවය අද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් වත් සිදු වන්නෙ නැහැ. එ තුමා ගේ මඟ ගත් හෙළ හවුල ඒ කාරිය ඉතා නිවැරැදි ව ඉදිරියට ගෙන ගියා. සිංහල හෝඩි පොතේ පටන් කව්සිළුමිණ දක්වා ග්‍රන්ථ පිරිසුදු කළා. ඒ කෘතිවල ගුණදොස් විවේචනය කරමින් පක්ෂපාතීත්වයත් නැති ව බසට පණ මෙන් ආදරය කළා. ඒ වගේ ම පඬිවරයකු වශයෙන් තොටගමුවේ සිරි රාහුල හිමියන් ඉතා ඉහළින් අගය කළ අතර කවියකු වශයෙන් උන් වහන්සේ ගේ දුර්වල තැන් පෙන්වා දුන්නා. ඒ ඇසුරු කොටගෙන ‘කුකවි වාදය’ පවා බිහි වුණා. ඒ වගේ ම එ තුමා ‘ස්වදේශ මිත්‍රයා’ පුවත්පතට ‘සිංහල කාව්‍ය ශාස්ත්‍රය’ යනුවෙන් ලිපි පෙළක් ද සම්පාදනය කළා. බස සම්බන්ධයෙන් මෙ වැනි අනුපමේය සේවාවක් කළ වෙනත් පඬිවරයකු අප අතර බිහි වුණේ නැහැ. 2. කුමාරතුංගයන් ගේ සේවය වර්තමානයට ගළපාගන්නේ කෙ සේ ද? වර්තමානයට ගළපා ගැනීමක් කියලා එකක් නැහැ. එ තුමා බස සම්බන්ධ ව කළ සේවය අකාලික යි. එය කොයි කලටත් එක යි. එ තුමා නිවැරැදි හෙළ වදන් නිර්මාණය කිරීමට ගත් වෑයම ඔහු ගෙන් පසු පරම්පරාව පවා ආදර්ශයට ගත්තා. නිවැරැදි හෙළ වදන් නිර්මාණය කරන්න පුළුවන් එක ම කණ්ඩායම තමයි හෙළ හවුල. එය පැහැදිලි ව අවබෝධ කරගන්න පුළුවන්, ඒ මඟ අනුගමනය නො කර වචන හදන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වචන හා සංසන්දනය කිරීමෙන්. එ හෙත් අපේ පැරැණි සිංහලයෝ එය හරියට ම තේරුම් ගත්තා. සුද්දාට ‘කෝට්ටේ’ යන්න කියවුණේ ‘කොටේ’ කියල. ඒ වැරැද්ද නිවැරැදි කරන්නේ නැති ව, සුද්දට කියවන්න බැරි වුණ වචනය අරගෙන අපේ අය ‘කොටා පාර’ කියලා කියනවා. මේවා තනිකර ම විහිළු. අපේ ගැමියනට තිබුණු අන්තර්ඥානය උගතුන්ට නැහැ. 3. ළමා සාහිත්‍යයෙහි ලා කුමාරතුංගයන් ගේ දායකත්වය සුවිශේෂ වන්නේ කෙ සේ ද? ළමා සාහිත්‍යය කියන්නෙ සාහිත්‍යයේ ඉතා වටිනා පෙදෙසක්. එය සාර්ථක ව කරන්න පළමු ව ළමා මනස නිවැරැදි ව හඳුනාගත යුතු යි. ඒ වගේ ම ළමා සිතිවිලි සහ ළමා ක්‍රියාකාරකම් පිළිබඳ ඉතා නිවැරැදි දැක්මක් තියෙන්න ඕනෑ. “කියවන නුවණ” ඇතුළු පත්පොත් හරහා කුමාරතුංගයන් එය ඉතා සාර්ථක ව ඉටු කළා. “උදය” නැමැති කවි පන්තිය කුඩා දරුවකුට රැගෙන එන්නෙ මොන තරම් සුවයක් ද? ඒ වගේම “සිරිමත් මගෙ සකි” වැනි කවි පන්ති හරහා කුඩා දරුවාට ලබාදෙන පණිවුඩය කොතරම් උසස් ද? ඒ කවි පන්ති ඇතුළු කුමාරතුංගයන් ගේ ළමා සාහිත්‍ය කෘතිවලින් වැඩිහිටියන් පවා තව මත් ලබන වින්දනය කොතෙක් ද? ළමයා කතා කරන බස ඉතා නිර්මාණශීලී ලෙස ළමා සාහිත්‍යයෙහි යොදාගැනීම කුමාරතුංගයන් අතින් කැරුණු ඉතා වැදගත් අංශයක්. කියන බසත් ලියන බසත් නිර්මාණයක කලාත්මක ලෙස පෙළගස්වන්නේ කෙසේ ද යන්න එතුමා ඉතා නිවැරැදි ව පෙන්වාදුන්නා. 4. කුමාරතුංගයන් ගේ භාෂා ව්‍යාපාරය ප්‍රතික්‍ෂේප කළ අය පිළිබඳ ඔබේ අදහස කුමක් ද? කුමරතුඟු ගමන් මඟ අනුගමනය නො කරන බොහෝ දෙනා ඉංගිරිසියෙන් හිතලා සිංහලයෙන් ලියන අය. මෙහි ප්‍රධාන නායකයෝ තමා සරසවි ඇදුරෝ. සර් අයිවර් ජෙනිංග්ස් උපාධි දුන්නේ ඉංගිරිසියෙන් සිංහල භාෂාව ගැන ලියපු අයට. මොක ද ඔහුට වුවමනා වුණා සිංහල භාෂාව හැම දා ම වහල් බවේ තියාගන්න. ඔහු උපාධි දුන්නේ සිංහල ගැන ඉංගිරිසියෙන් නිබන්ධනයක් කළා ම. මේ ගොල්ල තමයි පසු කාලයේ සරසවි ඇදුරන් වුණේ. සරසවි ඇදුරන් වුණත් වහල් මානසිකත්වයෙන් මිදෙන්න මොවුනට හැකියාවක් තිබුණේ නැහැ. එය පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන ඇවිත් අද සරසවි ඇදුරන් කරන්නෙත් ඔය ටික ම යි. ඔවුන් ළඟ තමන් ගේ ම කියල මතවාදයක් නැහැ. බස ඇතුළු හැමදේ ම අනුකාරකවාදි යි. ඔවුන් ‘හැකියාව’ යන වචනයට අලුත් වචනයක් හදනවා ‘ශක්‍යතාව’ කියල. එය අනවශ්‍ය යි. ‘දැනුවත්’ කියන වචනයත් වැරැදි යි. හෙළ හවුල මඟින් වචනයක් නිර්මාණය කළොත් ඔවුන් කියන්නේ ඒව පොලොන්නරු යුගයේ කියලා. වදන්වලට එහෙම යුගයක් නැහැ. ඊලියන් ද සිල්වා මහත්තයා වරක් ඇහුවා ‘වදන්වලට උප්පැන්න සහතික දුන්නේ කවරෙක් ද?’ කියලා. ඒ අනුව කුමරතුඟුන් ප්‍රතික්ෂේප කරන අය බසට කරන්නේ ඉතා විශාල අපරාධයක්. එය බසෙහි පිරිහීමට මිස බසෙහි වැඩීමට කෙසේ වත් ආධාර වන්නේ නැහැ. 5. කුමාරතුංගයන් අද පහළ වුව හොත් වර්තමාන භාෂා භාවිතය ගැන කුමක් කියා වි ද? එ දා කියාපු දේ ම තමයි අදත් කියන්නේ. බස නිවැරැදි ව ලියන්න කියන්න කියන එක. එ තුමා බසෙහි නිවැරැදිතාව වෙනුවෙන් දැඩි ව පෙනී සිටි කෙනෙක්. වරක් පියදාස සිරිසේනයන් ගේ භාෂා භාවිතය ගැන තදින් ම දොස් කියමින් එය නිවැරැදි කරගන්නා ලෙස ඔවුන් ගෙන් ඉල්ලා සිටියා. සෑහෙන වාදයකින් පස්සෙ පියදාස සිරිසේනයන් තමන් ගේ වැරැද්ද පිළිගෙන වාදය අවසානයෙහි දී ‘කාරණාව පිළිගනිමි’ යි ලිව්වා. එයත් වැරැදි වහරක් බව කුමාරතුංගයන් පෙන්වා දුන්නා. එ තැන ‘කාරණාව’ වෙන්න බැහැ. කාරණාව කියන්නේ කාරණයා ගේ බිරිය. සුදුසු වචනය ‘කාරණය’. එය පෙන්වා දෙමින් කුමාරතුංගයන් මෙසේ ලියුවා. “කාරණයා ගේ බිරිය වන කාරණාව තේරුම් ගත් සැටි මැනැවි” කියා. මේ ආකාරයට ඉතා අදීන ලෙස කිසි දු පක්ෂග්‍රාහිත්වයකින් තොර ව වැරැද්ද දුටු තැන එය නොබිය ව ප්‍රකාශ කළා. අද පවා එය ඉදිරියට ගෙන යන්නෙ හෙළ හවුල පමණ යි. එය කරන්න පුළුවන් හෙළ හවුලට විතර යි. [හෙළ හවුලේ අනුසසු හේමසිරි කුමාරණතුංගයන් සමඟ සුලෝචන වික්‍රමසිංහයන් කළ සංලාපයක් ඇසුරින් සැකැසිණි. මුල් සංලාපය 2013 මාරතු 03 වැනි දා සිළුමිණ පතෙහි පළ විය.]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *