කුමරතුඟුන් ගේ දර්ශනයෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ

කුමරතුඟු මුනිදස් 69 වැනි සමරුව නිමිත්තෙන් 2013 මාරතු 03 වැනි දා සිළුමිණ පතෙහි පළ වූ ලිපියෙකි.

ජාතියක පදනම එහි භාෂාව ය යන දර්ශනයෙහි පිහිටා හෙළ බස රූපික ව ද, රමණීය ව ද, විචිත්‍රවත් ව ද නඟාසිටුවනු පිණිස මුළු දිවිය ම කැප කළ කුමාරතුංග මුනිදාසයන් නාමශේෂභාවෝපගත වී ඊයේට (02) වසර 69ක් සැපිරිණි. ව්‍යාකරණඥයකු, ළමා නිර්මාණ සාහිත්‍යධරයකු, කවියකු, මතු නො ව තුන්කල් දුටු අදීන චින්තකයකු ද වූ කුමාරතුංගයන් ගේ වෙසෙස් මෙහෙවර පිළිබඳ සටහනක් තබන්නට මෙවර මුවදොර වදන සංලාපයට එක් වන්නෝ, දැනට අපට සිටින ජ්‍යෙෂ්ඨතම පඬිවරයකු වන වි. ජ. මු. ලොකුබණ්ඩාරයෝ ය. වි.ජ.මු ලොකුබණ්ඩාරයන් ලාංකේය ඉතිහාසයට එක් විය යුත්තේ, දේශපාලනඥයකු වශයෙන් නො ව, විදග්ධ පඬිවරයකු වශයෙන් බව මේ සංලාපය ඔස්සේ එතුමා ගෙන හැර දක්වන අදහස් මඟින් මොනොවට පසක් කැරදෙනු නිරනුමාන ය. කුමරතුඟු දිනයට සමගාමී ව භාෂා දිනය සැමැරෙන මේ මොහොතේ කුමරතුඟු දර්ශනය කොතරම් සර්වකාලීන ද යන්නත්, දෙස බස රැස ගැන කුමරතුඟුන් දැක්වූ අසීමිත ගෞරවාදරයත් මේ සංලාපය මඟින් වි.ජ.මු. ලොකුබණ්ඩාරයෝ සනිදර්ශිත ව අවධාරණය කරති.

W J M Lokubandaraකුමරතුඟු මඟටත්, හෙළ හවුලටත් ඔබ ඉතා ළැදි අයෙක්. භාෂා දිනයත්, ඊට සමගාමී ව යෙදෙන කුමරතුඟු දිනයත් සමරන මේ මොහොතේ කුමරතුඟු මඟ ඔබේ දිවි ගමනට බලපෑ අන්දම දැනගන්නට කැමැති යි.

ශික්‍ෂා මාර්ගය පොත් පෙළ කුඩා කාලයේ පටන් අපට පරිහරණය කරන්නට ලැබුණා. ඊට අමතර ව කියවලා තිබුණා හත්පණ හා මඟුල්කෑම. පහේ ශිෂ්‍යත්වෙ සමත් වුණාට පස්සෙ අපට ඉගෙනගන්න තිබුණේ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්. එතැනදි මගෙ වාසනාවකට ප්‍රාථමික අංශය හා නේවාසිකාගාරය භාර ව සිටියා ගුරුවරයෙක් දො.ඩ. ඩයස් කියලා.

එතුමා පසුකාලීන ව ලේක්හවුස් ආයතනයේත් සේවය කළා.

ඔව්. ඔහු කලක් ඔබ දැන් සංස්කරණය කරන ශාස්ත්‍රීය අතිරේකය ම සංස්කරණය කළා. ඔහු බොහෝ ම තැන්පත් උගත් කෙනෙක්; පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධරයෙක්; භාෂාව පිළිබඳ විශාල දැනුමක් තිබුණු කෙනෙක්. එතුමාගේ ආභාසය නිසා මම පූර්ව ජ්‍යෙෂ්ඨයේ ඉන්න කාලෙ වෙනකොට කව්සිළුමිණ පවා කියවන්න හුරු වුණා. අධ්‍යාපනයට ඒක අදාළ වෙලා තිබුණේ නැහැ. සිංහල භාෂාවට එතුමාගේ තිබූ ළැදියාව නිසා අපත් එවැනි දේට පෙලඹවූවා. එතුමා ඒ කාලේ අතින් ලියන සඟරාවක් පවා පළ කළා. ඒ නිසා අපෙත් බැඳීමක් ඇති වුණා හෙළ මඟට.

ඒ වගේ ම අපට බලපෑවා, සීවලී විද්‍යාලෙ විදුහල්පති වෙලා හිටියා හෙළ හවුලේ ලේකම් කෙනෙක්. නම හී.සි. රත්නායක. එතුමා පුරුද්දක් විදියට කුමරතුඟු සමරුව ඉතා ඉහළින් සමරනවා. කුමාරතුංග උත්සවය පවත්වන නිසා අපි එතුමා එක්කත් බොහොම සම්බන්ධ වෙලා හිටියා.

කුමාරතුංගයන් පළ කළ ‘සුබස’ සඟරාව ඔබට පරිශීලනය කරන්න ලැබිලා නැත් ද?

මොක ද නැත්තේ! රත්නායකයන් මඟින් තමයි මට කුමරතුඟුන් කල පළ කළ ‘සුබස’ සඟරාව කියැවීමට ලැබුණේ. එය ඉතා දුර්ලභ ගණයේ සඟරාවක්. රත්නායක මහත්තයා මේ සඟරා සේරම එකතු කරලා තිබුණා. ඒ නිසා මට බොහොම විරල භාග්‍යයක් ලැබුණා, සුබස සඟරා සේරම කියවන්න. තව එතුමා ළඟ තිබුණා, ’ඩ්චතඪධ’ සඟරාවත්. ඒක කුමාරතුංග මහත්තයා ඉංගී‍්‍රසියෙන් ගහපු සඟරාවක්. ’ඩ්චතඪධ’ කියන්නේ ගී‍්‍රක් බසින් ඉරට. සිංහල ජාතිය හිරු ගොතට අයත් ජාතියක් ය කියලත් කියනව නේ. සූර්යයා අවදි වීමේ ලකුණක් වශයෙන්, පුනර්ජීවනයේ ලක්‍ෂණයක් වශයෙන් සලකලා තමයි, ඒ නම සඟරාවට තියලා තියෙන්නේ.

ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉගෙනගත්තට දො. ඩ. ඩයස් මහත්තයාගේ සහ රත්නායක මහත්තයාගේ ආභාසය නිසා මම පැරැණි සිංහල සාහිත්‍යය හදාරලා තියෙනවා. එය මා ලද භාග්‍යයක්.

ඔබට කුමාරතුංගයන් ජීවමාන ව දැකගැනීමේ භාග්‍යය ලැබුණ ද?

එතුමා නැතිවෙනකොට මට අවුරුදු 3ක් විතර ඇති. ඒ නිසා ජීවමාන ව දැකගැනීමේ භාග්‍යය මට ලැබුණේ නැහැ. ඒ වුණාට මට, එතුමා ගැන මහත් භක්තියක් තිබෙනවා. දැන් බලන්න ‘ශික්‍ෂා මාර්ගය’ පොත් පෙළ කියවනකොට එහි පුදුමාකාර රචනා තියෙන්නේ. එහි තිබෙනවා ගෙදර ඉන්න ‘මැස්සා’ පිළිබඳ රචනයක්. ඒක ගොඩනැඟෙන්නේ මෙහෙමයි.

“පෙරේතයෙක් මේ ගෙදරට බැලුම් හෙළනවා, අපිරිසිදු තැන්වල ඉන්නවා. මේ පෙරේතයා කන බොන ඒවා ඉඹිනවා…” මේ විදියට පෙරේතයෙක් ගැන කියාගෙන යනවා. අන්තිමට කියනවා ‘මේ පෙරේතයා අන් කිසිවෙක් නොව ගෙමැස්සා ය’ කියලා. ඒ වගේ නිර්මාණාත්මක අපූර්ව රචනා එහි තිබෙන්නේ.

‘මඟුල් කෑම’ පොත පටන් ගන්නේ කොහොමද කියලා බලන්න.

‘කුකුළාගමුවට වඩා රමණීය වූ ගමකට හිරු නො පායයි.’

හිරු පායන තාක් මේ මහත් වූ චක්‍රවාටයේ කුකුළාගමුව තරම් රමණීය ගමක් තව නෑ කියන එක කිව්වෙ වෙන විදියකට. හත්පණ ගත්තත් එහෙමයි. මේවා ලියැවුණේ අලුත් ආරකට. ඒ යුගයේ ලියැවුණු වෙන කිසි ම පොතක එහෙම බස් වහරක් තිබුණේ නැහැ. දැන් නම් ඒ වගේ රචනා දක්නට ලැබෙනවා කෙටිකතාවල එහෙම.

අනෙක එතුමා ශික්‍ෂාමාර්ගයෙන් බො- හෝ දුරට උත්සාහ කළා ජාත්‍යාලයක්, දේශය පිළිබඳ හැඟීමක් ඇති වන අයුරින් රචනා ඉදිරිපත් කිරීමට. එහි වන බොහෝ රචනා ඒ බවට උදාහරණ.

කුමාරතුංගයන් උත්සාහ කළේ බස උපයෝගී කොටගෙන ජාතිකාලයක් ඇති කිරීමට නො වේ ද? අද මෙන් වර්ගය, ආගම, ජාතිය මූලික කොටගත් ජාත්‍යාලයක් නො ව එක ම ජාතියක් ය යන හැඟීම බස මූලික කොටගෙන ගොඩනඟන්න එතුමා උත්සාහ කළා.

එතුමා ඒ පිළිබඳ හොඳ නිර්වචනයක් දී තිබෙනවා. එය, පශ්චාත් යුද වකවානුවක් ගත කරන අපිට අපේ ජාතිය ගොඩනඟාගැනීමට යොදාගත හැකි හොඳ මාර්ගෝපදේශකයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි යි. එතුමා අපූරුවට විවරණය කරනවා අපේ සිංහලයා බෙදෙන හැටි. උඩරට කියනවා, පහතරට කියනවා. අර කුලේ මේ කුලේ කියනවා. එක එක කියලා කොටු වෙනවා. “මේ රටේ ඉන්න මුස්ලිම් ජාතිකයෝ මේ රටේ සිංහල මුස්ලිම් ජාතිකයෝ වෙන්න ඕන” කියලා කුමාරයෙක් කළ ප්‍රකාශයක් අරගෙන එතුමා මෙහෙම ලියනවා:

“මුස්ලිම් ජාතිකයෝ ඇඳ බැඳ වැලඳගන්නට ඕනෑ. ඔවුන් අපේ බවට පත් කරගන්න ඕනෑ. ද්‍රවිඩ කියලත් වෙන් කරන්න ඕනෑ නෑ.”

එතුමා මේ රටට කිව්වේ ‘සිංහලය’ කියලා. මූලික ව ඒ කාලේ ඉඳල ම ත්‍රි සිංහලය කියලා වචනයක් තියෙනවා. තුන් සිංහලේ කියලා අපි භාවිත කරන්නේ. ඒ කියන්නේ රුහුණු, පිහිටි, මායා කියන එක. ‘සිංහලය’ කියන එක පුරාවිද්‍යාවෙන්, භාෂාවෙන්, ඉතිහාසයෙන් සනාථ වෙන දෙයක්. මෙය හොඳට අවබෝධ කරගෙන එතුමා විශේෂ මතයක් ගොඩනැඟුවා සිංහලයේ ආරම්භය පිළිබඳ.

එතුමා එහිදී කිව්වා අපේ ජාතිය ආරම්භ වුණේ විදෑවෙක්ගෙන් නො ව පණ්ඩුකාභය කුමාරයාගෙන් කියලා. සිව් හෙළයෝ සී හෙළ වුණා, සිංහළ වුණා කියලා. ඒ වගේ ම එතුමා පණ්ඩුකාභය ප්‍රවෘත්තිය බොහොම රසවත් විදියට ගොඩනඟනවා, කියවන නුවණ වගේ ඒවගෙන්. පණ්ඩුකාභය චරිතය එතුමාගේ බොහෝ සිත් ගත් චරිතයක්. දැන් වෙනකොට අපිට පේනවා අපේ ජාතිය පිළිබඳ ඉතිහාසය සඳහන් කරන කොට පුරාවිද්‍යාවෙන් සනාථ වෙලා තියෙනවා විජය කාලයට පෙර ජනාවාස ගොඩනැඟිලා තියෙනවා ය කියලා. ඒ පිළිබඳ බොහොම මත දරපු කෙනෙක් තමයි කුමාරතුංගයෝ.

’තෙරුවන’ යන්නටත් එතුමා වෙනත් අර්ථකථනයක් දුන් බව මා අසා තිබෙනවා.

ඔව්. අපි සාමාන්‍යයෙන් තෙරුවන කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන එකටනේ. ඒත් එතුමා ඊට නව අර්ථකථනයක් දුන්නා දෙස, බස, රැස කියලා. ඒ තරමට ම එතුමා උපන් බිමට, කතා කරන බසට, අප අයිති ජාතියට මුල්තැනක් දුන්නා. ඒ කාලේ ඒවා හරියට අපේ සිත් ගත්තා. මට බලපාපු දෙයක් තමයි මේ දො.ඩ. ඩයස් කියන එක. මම ඇහුවා මොකක් ද මේ දො.ඩ. කියන්නේ කියලා. ඩයස් මහත්තයා මගෙන් ඇහුවා දොන් ඩයනීසියස් කියන එකට ඇයි මම ඩී.ඩී. කියන්නේ කියලා. දොන් කියන එකේ මුල් අකුර ‘දො’ යන්න නේ කියලා, ඒ ‘ඩී’ අක්‍ෂරය නොවෙයි නේ, ඇයි ඉතින් ඔය ළමයා ඒකට හිනා වෙන්නේ කියලා. ‘ඩී’ යන්නක් කොහොම ද ‘දොන්’ වෙන්නේ? ඒක හරි තර්කානුකූලයි නේ. ඉතින් මමත් වි.ජ.මු. වුණා. ‘විජේසිංහ ජයවීර මුදියන්සේ’ කියන එක. විජේසිංහ කියන එකට ‘ඩබ්ලිව්’ කියන්නේ කොහොම ද? ඒකෙන් ‘වි’ කියැවෙනව ද? නැහැ නේ. මේ තර්කානුකූල මතය අපේ යෞවන මනසට බොහොම කාවැදුණා. කුමරතුඟු මඟ ගැනත් බොහොම හිතට වැදුණා. ඒ නිසා කුමාරතුංගයන් ලියූ දෑ සොය සොයා කියෙව්වා.

කුමාරතුංගයන් භාෂාවේ රූපික ස්වරූපයට කොටු වීම නිසා එතුමා සතු ව තිබූ නිසග කවිත්වය අඩපණ වුණා යැ යි සමහර විචාරකයන් පවසනවා. මේ ගැන ඔබ මොක ද හිතන්නේ.

කුමාරතුංගයන්ගේ කවිත්වය මතු වෙන්නේ, ඔප් නැංවෙන්නේ භාෂාධිපත්‍යය නිස යි. ඔහුගේ තිබුණු භාෂාධිපත්‍යය නිසා කවිත්වය නැති වුණා කියන්නේ බොරු මතයක්. නිදර්ශනයක් විදියට ගන්න කුමාරතුංගයන්ගේ පියසමර.

ලොවැ සියල්ල බිඳෙයි, නොතිර යි, දුක යි අපට ඒ සැබැවින් වෙනසෙක් නොවී වරද නම් ගිය කල් පෙරළා බලා තැවෙන සේ සිහියක් ඇති වීම මැ යි

ගලාගෙන යන බස් වහරක් නෙ මේ තියෙන්නේ. ලොවැ සියල්ල බිඳෙයි, නොතිර යි, දුක යි… මේ භාෂාවේ තියෙන අපූර්වත්වය නො වේ ද?

වෙන දෙයක් නො වේ අමාවතුර ගන්න. අමාවතුරේ අඟුල්මල් දමනය ගන්න. ‘ඒ මඟැ අඟුල්මල් නම් සොරෙකැ, දරුණැ, ලෙහෙමුඩු අත් ඇත්තෙයැ, සතුන් කෙරෙහි කුලුණු නැත්තේයැ, ගම් නොගම් කෙළෙ, නියම් ගම් නොනියම් ගම් කෙළෙ, දනවු නොදනවු කෙළෙ, මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොටැ ධරයි…’ දැන් ඒ රීතිය ම තමයි කුමරතුඟුන් ‘පියසමරෙ’ හි ගන්නේ. ලොවැ සියල්ල බිඳෙයි, නොතිර යි, දුක යි. කෙටි වැකි ඇසුරෙන් ගොඩනඟන්නේ. ඇත්තම කියනව නම් භාෂාව හරස් වීමක් වෙලා නැහැ. එතුමාට වැඩි කාලයක් ජීවත් වීමට ලැබුණේ නැහැ. අවුරුදු 57 යි හිටියේ. 1887 ඉඳලා 1944 දක්වා පමණ යි. හොඳට ම මේරුණු පැසුණු කාලේ එතුමා නැති වුණේ.

කුමාරතුංගයන්ට මේ අවම වයස් කාලයේ අවසන් භාගයේදී ලේඛනයට මෙන් ම පැවැත්මට ද බොහෝ කරදර තිබුණා යැ යි මා අසා තිබෙනවා.

එතුමාට බොහොම කරදර තිබුණා. හතළිස් ගණන්වල යුද්ධය නිසා කඩදාසි හිඟයක් පැවතුණා. ඒ වගේ ම එතුමාට අසනීප ගති බොහොමයක් තිබුණා. කඩදාසි හිඟය නිසා ඒ කාලේ ‘සුබස’ සඟරාව එහෙම කරලා තිනේනේ ඉතා ම පහළ මට්ටමේ පිදුරු වගේ කඩදාසි කොළවල. ‘කව්සිළුමිණි පෙළගැස්ම’ අච්චු ගහලා තියෙන කඩදාසි දැක්කම බොහොම දුක හිතෙනවා, කුමාරතුංග මහත්තයාට කඩදාසි දීලා නැහැ පොත් අච්චු ගහන්න. නැත් නම් ඇත්තට ම එතුමා කව්සිළුමිණටත් සසදාවතට, මුවදෙව්දාවතට වගේ විවරණයක් ලියනවා. ඉතා ම පැහැදිලි දීර්ඝ විවරණ නෙ එතුමා ලියලා තියෙන්නේ. මයූර සන්දේශයට එතුමා ඉංගී‍්‍රසියෙන් ලිව්වා සංඥාපනයක්. ඉතා ම රමණීය විදියට පොත පිළිබඳ විවරණයක් ඉදිරිපත් කරන ගමන් ග්‍රන්ථ විවරණය පිළිබඳවත් බොහෝ මතිමතාන්තර එහි මතු කරනවා. එතුමා ඉතා වටිනා අදහස් එහිදී ප්‍රකාශ කරනවා.

බසේ පරිණාමීය ලක්‍ෂණ කුමාරතුංගයන් මැනැවින් හඳුනාගත්තා නො වේ ද? එතුමා තව වසර දහයක් ජීවතුන් අතර සිටියා නම් බස ගැන තව තවත් අරුත් නිරුත් බසේ පරිණාමයත් සමඟ ම ඒකාබද්ධ ව හඳුන්වා දෙතැ යි සිතෙනවා.

එතුමා නිරන්තරයෙන් ම භාෂාවේ වෙනස්කම් හඳුනාගත් කෙනෙක්. නිදර්ශනයක් වශයෙන් කුමාරතුංගයන්ගේ හෙළ හවුලේ හණක්, අඩයාලමක් වශයෙන්, සංඥාවක් වශයෙන්, ලකුණක් වශයෙන් යොදාගන්නවා නේ ‘ඇ’ කියන අක්‍ෂරය. ‘ඇකාරය’ සහ ‘එක්’ ප්‍රත්‍යය කියන මේ දෙක උඩ නෙ මේ සේරම තර්ක කරන්නේ. ඇත්ත කතා කරනවා නම් කුමාරතුංගයන් පැහැදිලි ව කියලා තියෙනවා නූතන ව්‍යවහාරයේ ‘එක්’ යන්න වෙනුවට ‘අක්’ යන්න ද යෙදේ කියලා. එහෙම යොදන එක වැරදි යි කියලා නැහැ. කොහොම වුණත් ‘ඇ’ යන්න සෙල්ලිපිවල ඉඳන් ඉඳන් ඈත අතීතයේ සිට අපට ආවේණික ලකුණක් බව පෙනී යනවා. පාලි භාෂාවේ මේ ‘ඇ’ නැහැ; සංස්කෘත භාෂාවෙත් නැහැ; වෙනත් කිසි ම හෝඩියක නැහැ.

‘ඇ’ කාරය භාවිතයෙන් වචනයේ නියම අරුත නිසි තැන අර්ථ ගැන්වෙනවා යැ යි සිතෙතත් ප්‍රායෝගික ගැටලුත් එමඟින් පැනනඟින බවකුයි හැඟෙන්නේ.

ඒ කාලේ හිටියා ‘බටුවිට අබාගුණ රුවන්’. හොඳින් ලියූ කෙනෙක්. ඔහු හුදු හෙළ බසින් ලියූවෙක්. ඒ කාලේ උගත් පඬිවරු විශේෂයෙන් විද්‍යාලංකාර පරම්පරාවේ උගත්තු ‘ඇ’, ‘එක්’ ප්‍රත්‍ය යොදන එක පුදුමයක් නො වෙයි. කුමාරතුංග මහත්තයා යොදපු එක අල්ලගෙන තමයි ඔය සේරම කෑගහන්නේ. ‘ඇ’ ඉවත් කරනවා කියලා එකක් නැහැ. එහෙම නම් ඉතින් අමාවතුර, දම්පියා අටුවා ගැටපදය, පඤ්චිකා ප්‍රදීපයේ ඉඳන් තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ලියූ දේවලුත් වෙනස් කරන්න වෙනවා.

අද ‘ඇ’ කාරය යෙදීම ප්‍රායෝගික නෑ කියලා කියන මතයට ඔබ එකඟ ද?

අද ව්‍යවහාරයත් එක්ක ගියා ම, අප නූතන භාෂාවත් එක්ක කතා කරනකොට මේක ජීව භාෂාවක් නිසා අප කටවහරට අනුව කතාව ගොඩනඟනවා. දැන් අපේ ආණ්ඩුවේ පෙළපොත් ආදියේ ‘ඇ’ භාවිත කරගෙන ගියා නම් අදත් අපේ අය ‘ඇ’ කාරය භාවිත කරනවා. අනුරාධපුර යුගයේ හා දඹදෙණි යුගයේ ලියැවුණා නම් එදා ඒක අමුතු දෙයක් වෙලා නැහැ නේ. ඒක ව්‍යවහාරයෙන් ඈත් වෙලා ගියා. ඒකට ඓතිහාසික හේතු ඇති. ඉතිහාසෙන් ඇවිල්ලා අපි පරාධීන යුගයකට ගියාට පස්සේ, ව්‍යාකරණයක් ගැන කිසි ම හැඟීමක් නැති කාලයක් පසු කළා. පරංගි, ලන්දේසි යුගවල සිංහලය ගැන කිසි ම

හැඟීමක් තිබුණේ නැහැ නේ. බ්‍රිතාන්‍ය යුගයේදී තවත් අපේ භාෂාව පිරිහුණු යුගයකට පත් වුණා නේ. ඒ ලකුණු එක්ක කල්පනා කරලා බැලුවහම භාෂාවේ පරිණාමයේදි අපට පෙනෙනවා භාෂාව පුනරුත්ථාපනය කරලා ගත යුතු බව. දැන් 1948 දී අපි නිදහස ලබනවා නේ.

කුමාරතුංග මහත්තයාගේ දර්ශනයක් තිබුණා නිදහස් ජාතියක් වශයෙන් අපි මතුවෙනකොට ඒ ජාතියට ස්වභාෂාවෙන් රාජකාරී කරන්න පුළුවන්කමක් ඇති කළ යුතු බව. එතුමා නැතිවෙන්නේ 1944 දි. ඒත් එතුමා කල්පනා කළා නොබෝ දිනකින් නිදහස ලබනවා, ඒකෙන් පස්සෙ රජය කළ යුතු වන්නේ හා රාජ්‍ය නිවේදන ආදිය නිකුත් කළ යුතු වන්නේ සිංහලෙන් බව. එහෙම දූරදර්ශී දර්ශනයක් එතුමාට තිබුණා. ඒවා නිකං කුස්සියේ කතා කරන සිංහලෙන් කරන්න බැහැ නේ. එනිසා එතුමා සිතුවා භාෂාවේ පදනම හොඳ ශක්තිමත් විය යුතු බව. ඔහු ඒ සඳහා ආදර්ශයට ගත්තේ අපේ ස්වර්ණමය යුගයක් වන රුවන්මැලිසෑය නිමැවුණු, සඳකඩපහණ නිර්මාණය වුණු අනුරාධපුර යුගයේ භාවිත බස.

ඒ කාලේ ලංකාවේ ඉතා විශිෂ්ට සිංහල බසක් භාවිත වූ බව අපේ චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍යය ඇසුරෙන් වුවත් වටහාගත හැකි යි.

මේ රටට වැඩම කළ මහින්ද මහරහතන් වහන්සේට ‘මිහිඳු’ කියල නෙ කිව්වේ. හිතන්න, මොනතරම් භාෂා ආධිපත්‍යයක් තිබුණ ද කියලා. ශාරිපුත්‍ර, මොග්ගල්ලාන දෙදෙනාට කිව්වේ සැරියුත්, මුගලන් කියලා. මේ වගේ පොඩි රටක මෙච්චර දියුණු බසක් භාවිත වුණා.

අපේ භාෂාව, ව්‍යාකරණය ගොඩනඟන්නට ඕනෑ. සිංහල කියන්නේ පෞරාණික භාෂාවක් නේ. සෙල්ලිපි තියෙනවා උත්තිය රජ්ජුරුවන්ගේ කාලයේ ඉඳලා. මෙතරම් පැරැණි යුගයක ඉඳලා එනකොට අපේ වියරණය ගැන හොඳ පර්යේෂණයක් කරලා තිබුණෙ නෑ කිසි විශ්වවිද්‍යාලයක.

ඒ කාලෙ තිබුණේ ලංකා විශ්වවිද්‍යාලය පමණයි නේද? විද්‍යෝදය, විද්‍යාලංකාර ඒ වන විටත් පිරිවෙන්.

ඔව්. ඒ එක ම විශ්වවිද්‍යාලෙ ඉගැන්වුවෙත් සිංහලෙන් නො වෙයි, ඉංගී‍්‍රසියෙන්. සිංහල පවා ඉගැන්වුවෙ ඉංගී‍්‍රසියෙන්. අයිවර් ජෙනිංස්ට ඒ පිළිබඳ විවෘත සන්දේශයක් එතුමා ඉදිරිපත් කළා. බලන්න, එතුමා කොයිතරම් දූරදර්ශී ලෙස කල්පනා කළා ද කියලා. නිදහස ලැබීමෙන් පසු ස්වජාතිකයන් විදියට සිංහලෙන් ගනුදෙනු කළ හැකි වටපිටාවක් නිර්මාණය කරන්න යි එතුමාට ඕන කළේ. ඔහු ඇත්තෙන් ම තුන්කල් දුටු ඍෂිවරයෙක්.

‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනඟී…’ කියලා කුමරතුඟුන් පවසන්නේ එතුමා නිෂ්පාදන ලොව දියුණුව පවා 40 දශකය වැනි කාලයකදී දුටු නිසා නො වේ ද?

ඔහු කල්පනා කළා, ඉදිරියේදී අපේ රට නිදහස් රාජ්‍යයක් වෙනකොට, අපේ භාෂාව රාජ්‍ය භාෂාව වෙනකොට ඊට ගැළැපෙන භාෂාවේ වියරණ රටාවක් තිබිය යුතු බව. ඒ වගේමයි දිනෙන් දින දියුණු වන රටේ අලුත් දෑ නිෂ්පාදනය විය යුතු බව. අලුත් නිෂ්පාදන ලෝකය කරා නොගිය හොත් අපේ රටට නැඟීමක් නැති බව එතුමා දුටුවේ 40 වගේ දශකයකදි. එතුමා උත්සාහ කළා අපේ මිනිසුන්ගේ මනසේ නව නිපැයුම් බිහි කිරීම සඳහා ශක්තිය සම්පාදනය කිරීමට.

කුමරතුඟුන් මේ මනස්හි කරන ගොඩනැඟීම මුලින් ම යොමු කරන්නේ ළමා පරපුර වෙත. එතුමා ළමා සාහිත්‍යකරණයේ සුවිසෙස් ප්‍රතිභාවක් පෙන්වූ නිර්මාණකරුවෙක්.

ළමයින්ට නියම භාෂා භාවිතයක් එතුමා තිළිණ කළා.

දැන් බලන්න, නැළැවිල්ල වගේ කවි පන්තියක්.

උණු වැඩි යැ යි හිරුගෙ රැස් තෙමා නැවැත ගෙනෙන ලෙස් ගියේ ය වැද මුහුදු කුස් පෙනේ ද ආදර වෙසෙස්

ඒක තනිකර ම එතුමාගේ භාෂා ආධිපත්‍යයෙන් මතු වන කවියක්. අර්ථය මෙන් ම රිද්මය ද මනාව ගළපාගන්නා අයුරු බලන්න. දරුවන්ටත් මේ වැනි දේ ආදර්ශ නො වේ ද?

එතුමා භාෂාවට යට නොවී, භාෂාව තමන්ගේ වහලකු බවට පත් කරගනිමින් භාෂාව සිතූ සිතූ සම්පත් ලබාදෙන සුරබිදෙනක් බවට හරවාගැනීම විශේෂයි.

ඔහු කවර දා වත් භාෂාවේ වහලකු වුණේ නැහැ; භාෂාව තමන්ගේ වහලකු කරගත්තා. ඔබ හරි. වියරණයට වහල් වුණේ නැහැ. වියරණය සුදුසු ලෙස ගැළැපෙන ලෙස සකස් කරගත්තා.

එයට හොඳ නිදර්ශනයක් නේද ළමා ගේය පද රචනයේදී ‘ඇ’ කාරය භාවිත නොකිරීම?

ඔව්. ළමා ගීත විතරක් නො වෙයි හත්පණේ එහෙමත් ‘ඇ’ නෑ; මඟුල්කෑමෙත් නෑ. ‘ඇ’ ගැන කියලා කුමාරතුංගයන් යටපත් කරන්න කිසි කෙනකුට බැහැ. ‘ඇ’ කාරයෙන් කුමාරතුංගයන් වහන්න බැරි බව මේ වෙන කොට ඔප්පු වෙලා ඉවර යි.

කුමරතුඟුන් අගය කිරීමට විශ්වවිද්‍යාල ඇදුරන් පැකිළෙන්නේ කුමන කරුණක් නිසා යැ යි ඔබ සිතනවා ද?

අපේ විශ්වවිද්‍යාල එකක වත් කුමාරතුංගයන්ගේ පොතක් පතක් අදටත් විෂය නිර්දේශයට නියම වෙන්නේ නැහැ නේ. හරි විදියට නම් කුමාරතුංග මුනිදාසයන් ලියපු ප්‍රබන්ධෝපදේශය, ප්‍රබන්ධ සංග්‍රහය ඔය වගේ පොතක් වත් නියම විය යුතුයි නේ. ඔබ හදාරපු උපාධියට මේ ගැන එක වචනයක් වත් උගැන්වුව ද? උපාධිය පැත්තකින් තියන්න. ඩිප්ලෝමා පාඨමාලාවකට වත් මේවා උගන්වනව ද? පුවත්පත් කලාව, මාධ්‍ය පිළිබඳ විවිධ පාඨමාලා රාශියක් තියෙන මේ වගේ කාලයක වත් කුමාරතුංගයන් ගැන සඳහන් වෙනව ද?

ලක්මිණිපහනේ කතුවැකියක් වත් මේ පාඨමාලාවල උගන්වනව ද? නැහැ නේ. හෙළ හවුල පමණයි මේ මතවාද රැකගෙන යන්න ඉදිරිපත් වෙලා ඉන්නේ.

කුමාරතුංගයන් පුවත්පත් කලාවේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරනවා. එකක් ලක්මිණිපහන නැවත ආරම්භයේදී එතුමා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වර්තමාන කාල ආඛ්‍යාතයෙන් තබනවා. එය පුවත්පත් කලාවේ සජීව බව රැකගන්න උපස්තම්භක වුණා. අනෙක කෙටිවැකි භාවිතය පුවත්පත් කලාවට හඳුන්වා දෙන්නෙත් කුමරතුඟුන්. පුවත්පත් කලාවේ මේ පෙරගමන් ගැන ඔබගේ අදහස?

පැහැදිලි ව ම. ජීව භාෂා ගුණය රැකගනිමින් භාෂාවේ විවිධ ස්වරූප කරා යන්නට එතුමා උත්සුක වුණා. ශීර්ෂ පාඨ යෙදීමේදී ඒ කාර්යය ප්‍රමුඛ යි. ඒ ගැන අවධානය යොමු කරපු අය හිටියා. කිත්සිරි නිමල් ශාන්ත එයින් එක්කෙනෙක්. කිහිප දෙනෙක් ඒ මඟ යන්න කැප වුණා. ඒ වුණාට ඔබ කියූ ඒ කාරණා දෙක බොහෝ දෙනෙක් නොදන්නා කරුණු දෙකක්. ලක්මිණිපහන ජනතාව අතර බෙහෙවින් කතාබහට ලක් වෙන්න, ජනපි‍්‍රය වෙන්න ඒ කරුණු බලපෑම් කළා. නිර්දය විචාර ඉතා නිර්මාණාත්මක බස් වහරකින් මෙහි පළ වුණා.

හෙළ හවුල භාෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන, භාෂාවේ රූපික ස්වරූපය පමණක් ගුරු කොටගත් දැඩි පිළිවෙත හේතුවන් කුමාරතුංගයන් ප්‍රතික්‍ෂේප වෙනවා යැ යි මතයක් සමාජයෙහි ගොඩනැඟී තිබෙනවා. හෙළ හවුලේ දැඩි පිළිවෙත් බස වැනි පරිණාමීය ක්‍ෂේත්‍රයකට අහිතකර ව බලපාන බවක් ඉන් කියැවෙනවා.

කුමාරතුංග කිව්ව හැටියෙ මිනිස්සු ගන්නේ හෙළ හවුල. භාෂාවේ පරිහානිය වළක්වන්න හෙළ හවුල පුළුවන් හැම දෙයක් ම කරනවා. හෙළ හවුල කියන්නේ ඉතා ම අහිංසක, අසරණ හවුලක්. භාෂාව කිය කිය ආණ්ඩුවෙන් පඩි ගන්නේ, ආණ්ඩුවෙන් වියදම් දරන්නේ, සිංහල භාෂාව ගැන කතා කරන්නේ, ගැටෙන්නේ විශ්වවිද්‍යාල නේ. සිංහල මහාචාර්යවරුන්ට, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට, සහාය මහාචාර්යවරුන්ට, කථිකාචාර්යවරුන්ට පඩි ගෙවන්නේ සිංහල භාෂාව වෙනුවෙන්.

පිරිවෙන්වල, පාසල්වල සිංහල ගුරුවරුන්ට පඩි ගෙවන්නෙත් ‘සිංහල’ වෙනුවෙන්. ඒ අය නෙ මේක රැකගන්න ඕන. හෙළ හවුලට මොකට ද දොස් කියන්නේ? සිංහලය රැකගැනීම හෙළ හවුලේ වැඩක් යැ? හෙළ හවුල ආණ්ඩුවෙන් යැපෙනව ද? ඔවුන්ට විශේෂ සංවිධානයක් තියෙනව ද? නැහැ නේ. හෙළ හවුල කිහිප දෙනෙක් එකතු වෙලා, කුමාරතුංගයන් ගුරුවරයා වශයෙන් සලකලා, එතුමා සිහි කරලා සමරුවක් පවත්වන පිරිසක්. කිසි ම කෙනකුට හෙළ හවුලට ඇඟිල්ලක් දිගු කරන්න අයිතියක් නෑ. මොක ද, හෙළ හවුල කිසි ම රාජ්‍ය ආයතනයකින් නඩත්තු වන්නේ නැහැ. අපි ස්තුතිවන්ත වෙන්න ඕන හෙළ හවුලට, නිකං හරි කුමාරතුංග දිනේ සිහිපත් කරලා සමරුවක් තියන එකට. මොක ද, මේවා විශ්වවිද්‍යාලයවලින් කරන්නේ නැහැ නේ. එතුමා පඬිවරයෙක් නේ. සිහි කරන එක යුතුකමක් නෙ. ඇයි හෙළ හවුලට බැණ බැණ ඉන්නේ?

විශ්වවිද්‍යාල මඟින් කුමාරතුංගයන් ප්‍රතික්‍ෂේප කිරීමට හේතු කාරණා විදියට ඔබ දකින්නේ මොනවා ද?

මේ සමාජයේ තියෙනවා මහ කුඩුකේඩුකමක්. ඒ කුමාරතුංග විරෝධයක්. ඒක ඇති වුණේ ඒ කාලේ ප්‍රබුද්ධයන් යැ යි කියන පිරිස් කුමාරතුංගයන් අතින් හොඳට බැටකාපු නිස යි. ප්‍රාචීන භාෂා මහාචාර්යවරයෙක් වුණු ගුණපාල මලලසේකර මහතා ගන්න. ඔහුගේ යම් යම් වැරදි පිළිබඳව කුමාරතුංගයන් ප්‍රසිද්ධියේ කතා කළා. අනෙක් අය ගැනත් එහෙමයි. ඉතින් මේ අය කුමාරතුංගයන් ප්‍රතික්‍ෂේප කළා. හෙළ හවුලේ එතුමා එක්ක හිටපු අය අද ජීවමාන ව ඉන්න බවක් මම දන්නේ නැහැ. ඒ අය විතරයි එතුමාගේ අගය වටහාගත්තේ. අහුබුදුවන්ගෙන් පසු ව එවැන්නෙක් ගැන මගේ මතකයට නැඟෙන්නේ නැහැ.

Kumaratunga Cartoon‘දෙවියකු කී දැයක් වත් කරුණු නැති වැ නො අදහනු’ කියලයි කුමරතුඟුන් කීවේ. කාලාම සූත්‍රයේත් දැක්වෙන මේ චින්තනය කුමරතුඟුන් අදීන චින්තකයකු බවට පත් කළා යැ යි මට සිතෙනවා.

ඔබ කිව්ව කවියේ ඉතිරි පද ටික මෙන්න:

ගත්කරු සත්කරු පමණ ඔබ හට කරුණෙක් නො වේ දෙවියකු කී දැයක් වත් කරුණු නැති වැ නො අදහනු’

එතුමාට ඕනෑ වුණේ එතුමා පසු කර යන ගෝලයන් පිරිසක්. ඔහු එය පැහැදිලි ව තම ශිෂ්‍යයන්ට කිව්වා. ම.ව. සුගතපාල ද සිල්වා එහෙම ඔහුගෙන් නිසි ආභාසය ලද කෙනෙක්. ඔහු කුමරතුඟුන්ගේ දර්ශනයෙන් බොහෝ වැඩ ගත්තා. සමහර අවස්ථාවල සුගතපාලයන් කුමරතුඟුන්ගේ මත අබිබවා ගියා. එය තමයි විය යුතු. ඒ ඇරෙන්න ඔහුගේ දර්ශනයෙන් නිසි ප්‍රයෝජන ගත් අයෙක් නැහැ.

මේ වැනි නොතකාහැරීමකට කුමරතුඟුන් ලක්වන්නේ ඔහු විශ්වවිද්‍යාලයීය නිමැවුමක් නොවන බැවින් ද?

ඒ කාලේ පඬිවරු හොඳට බැටකෑවා කුමාරතුංග මහත්තයාගෙන්. රැපියෙල් තෙන්නකෝන් එහෙමත් භාෂාව වරද්දන අයට කවියෙන් හොඳට බැට දුන්නා. රැපියෙල් තෙන්නකෝන් කළ දේටත් ඒ අය පලි ගත්තේ කුමාරතුංගයන්ගෙනුයි.

ගන්න නිදර්ශනයක්: අපේ විශ්වවිද්‍යාලවලින් මට මේකට උත්තරයක් ඕන.

කුමාරතුංග මහත්තයා සිංහල භාෂාවේ ව්‍යාකරණය ගැන පොත් දෙකක් ලියලා තියෙනවා. ඒ වගේ එකක් ලියන්න පුළුවන් වුණා ද ඔය එක මහාචාර්යකෙනකුට. එකක් තමයි ව්‍යාකරණ විවරණය, අනෙක ක්‍රියා විවරණය. ව්‍යාකරණ විවරණය ඒ කාලේ හැටියට හිතන්න වත් බැරි නූතන දැනුමකින් යුතු ව, ව්‍යාකරණ රටාව ගැන විස්මිත ඥානයකින් යුතු ව පර්යේෂණ කොට සකසන ලද කෘතියක්. ක්‍රියා විවරණය කෘතියෙදි එතුමා අපේ සිංහල භාෂාවේ තිබෙන සියලු ක්‍රියාපද ගණ හයකට (6) බෙදන්න හැකි බව දැක්වුවා. ඒ ගණ හය තමයි, බල, බම, බණ, පිහිට, රක්, බස්. ඒවා වරනැඟෙන්නේ මෙසේ යි.

‘බල’ ධාතුව

බලා – බලති – බැලී – බැලූ

‘බම’ ධාතුව

බමා – බමති – බිමී – බිමූ

‘බණ’ ධාතුව

බණී – බණිති – බිණී – බිණූ

‘පිහිට’ ධාතුව

පිහිටා – පිහිටති – පිහිටි – පිහිටි

‘රක්’ ධාතුව

රකී – රකිති – රැකි – රැකි

‘බස්’ ධාතුව

බසී – බසිති – බටි – බටු

එය අද වෙනකං එහෙමමයි. සිංහල වෙනුවෙන් ජීවත් වන එක ම මහාචාර්යවරයකුට පුළුවන් වුණා ද මේ ගණ 6 නොවෙයි 7 යි කියලා වෙනස් කරන්න. නැහැ නේ. මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මේ ගැන පුදුම වුණා. “කුමාරතුංගයන්ට අපි ණයයි, මේ ක්‍රියා විවරණය ම ඊට ප්‍රමාණවත්” කියලා මාත් එක්ක ඔහු කිව්වා. ව්‍යාකරණ විවරණයේ මේ නිදර්ශනය ගන්න. ‘අනම්‍යාදේශය’ කියලා ව්‍යාකරණ විවරණයේදී හඳුන්වනවා මෙහෙම දෙයක්. අ, උ, ඔ කියන අක්‍ෂර තුන ඇ, ඉ, එ වෙනවා කියලා.

1. බල්ලා කියන එක බැල්ල වෙනවා.

2. උකුස්සා කියන එක ඉකිස්සි, උකුණා, ඉකිණි වෙනවා.

3. හොරා කියන එක හෙර, කොල්ලා, කෙල්ල වෙනවා.

මේක වෙන මොන ව්‍යාකරණ පොතකවත් නෑ. මේක සංස්කෘත පොතකවත් නැහැ. මේ සොයාගැනීම් ම මදැ යි එතුමාට නිසි ගෞරවය දක්වන්න.

කුමරතුඟුන් අතින් ‘ව්‍යාකරණ විවරණය’ ලියැවෙන්නෙත් කඩුගන්නාවේ පාඨශාලාවේ සිසුවකු නඟන පැනයකට පිළිතුරු සෙවීමට කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන්. එමඟින් එතුමාගේ නිහතමානී බව මෙන් ම ශාස්ත්‍රාභිලාෂී බවත් ප්‍රකට වෙනවා.

ඒක එතුමාගේ ලේවල තිබුණා. ඔහු අඩු වයසින් මියයෑම අපේ අභාග්‍යයක්. ඔහුගේ සංගීත ඥානය ගැන හිතන්න. මේ මහා ව්‍යාකරණඥයා සංගීතඥයෙක් වීම කොයි තරම් සුන්දර දෙයක් ද බලන්න. ඒ වගේ ම ඔහු කවියෙක්. දැන් අපිට ඉන්න කවියෝ කවුරුවත් ම ව්‍යාකරණඥයෝ වෙලා ඉන්නව ද? මොන තරම් සොඳුරු හදවතක් ද තියෙන්න ඇත්තේ? කුමරතුඟුන් නිසා වෙන ම සමරු ගී සාහිත්‍යයක් බිහි වුණා. කුමාරතුංගයන් කියන්නේ යුග පුරුෂයෙක්. එතුමාගේ සොඳුරු ජීවිත කාලය කෙටි වීම අපගේ අභාග්‍යයක්.

සංලාපය – සුමුදු චතුරාණි ජයවර්ධන
සේයාරුව – විමල් කරුණාතිලක

One thought on “කුමරතුඟුන් ගේ දර්ශනයෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *