අ’යන්න: II (අදමිටු – අධ්‍යාත්මික)

1. අදමිටු – මෙහි විරුද්ධාර්ථයේ යෙදෙන ‘අ’ ඉවත් කළ විට ඉතිරි වනුයේ ‘දමිටු’ යනු යි. එහෙත් ධර්මිෂ්ඨ අර්ථයෙන් සිංහලයේ යෙදෙනුයේ ‘දැමිටු’ යන වදන යි. එහෙයින් මෙහි නිවැරැදි වදන ‘අදැමිටු’ විය යුතු යි. තතු එ සේ වුව ද පූර්ව රූප සාම්‍යයෙන් – ‘දැ’ යන්නට පෙර යෙදෙන ‘අ’ යනු සමඟ සමාන වී ‘දැ’ පසු වැ ‘ද’ වීමෙන් – ‘අදමිටු’ යනු නිපැදවීමට ඉඩ ඇති බව ද සැලැකිය යුතු යි. 2. අදුර - ‘දුර’ යනු සිංහල වදනෙකි. ඒ හා අනුරූපවැ සංස්කෘතයේ, ද පාලියේ ද යෙදෙනුයේ ‘දූර’ යන (දිගු පාපිල්ල සහිත) වදනයි. එහෙයින් ‘අදූරදර්ශී’ වැනි සංස්කෘත වචනවල යෙදිය යුතු ඒ ‘දූර’ යනු යි. 3. අද්භූත – බෙහෙවින් යෙදෙන වැරැදි වදනෙකි මේ. ලේඛනයෙහි දී මෙන් ම භාෂණයෙහි දී ද මේ යෙදුම බොහෝ වියතුන් පවා යොදන්නකි. මෙහි යෙදෙනුයේ දීර්ඝ ‘භූ’ යන්න නො ව, කෙටි ‘භු’ යනු යි. එහෙයින් නිවැරැදි යෙදුම ‘අද්භුත’ යි. ඇතැමුන් ‘අත්භූත’ යන්නකුදු යොදන බවක් පෙනේ. ‘භූ’ යන්නෙහි ඇති ‘භ්’ මහාප‍්‍රාණ ඝෝෂ ව්‍යඤ්ජනයක් නිසා එයට පෙර යෙදෙන ‘ත්’ යන අඝෝෂ ව්‍යඤ්ජන නො යෙදේ; එහි ඝෝෂ ශබ්දය වන ‘ද්’ යනු ම යෙදේ. ‘අද්භුත’ යනු ම නිවැරැදි වනුයේ එහෙයිනි. 4. අධමිටු - ‘අධර්මිෂ්ඨ’ යන සකු (සංස්කෘත) වදනේ අරුත දීම සඳහා සිංහලයේ යෙදිය යුතු හරි වදන ‘අදැමිටු’ යනු යි. පාලි හෝ සංස්කෘත හෝ වචනවල විනා හෙළ වදන්හි ‘ධ’ වැනි මහාප‍්‍රාණ සාමාන්‍යයෙන් නො යෙදේ. ‘දමිටු’ යැයි වදනක් වහරෙහි නොවේ. ඇත්තේ ‘දැමිටු’ යනු යි. එයට මුලින් ‘අ’ යෙදුණු කල ‘අදැමිටු’ වේ. පූර්ව රූප සාම්‍යයෙන් (පෙරින් ඇති ‘අ’ යන්න හා සමාන වීමෙන්) ‘දැ’ යනු ‘ද’ වීමට ඉඩ ඇති බව ද නොමතක නො කළ යුතු යි. තව ද ‘අධර්මිෂ්ඨ’ යන්නෙන් සිංහලයට මෙය බිඳී ආ සේ සලකන්නකු හට ‘අදමිටු’ යනු නිවැරැදි රූපයක් සේ සැලැකිය හැකි ද වේ. 5. අධිටන - සංස්කෘතයේ ‘අධිෂ්ඨාන’ හා පාලියේ ‘අධිට්ඨාන’ හා අනුරූප වැ සිංහලයේ යෙදෙනුයේ ‘අදිටන්’ යනුයි. ‘අදැමිටු’ යන්නෙහි සේ ම මෙහි ද මහාප‍්‍රාණ ‘ධ’ යෙදිය හැකි නො වේ. මෙ බඳු වදන් පිළිබඳ වැ දත යුතු කරුණක් වෙයි. එ නම්, අනුරාධපුර - පොළොන්නරු යුගයේ ව්‍යවහාර හැරුණු හෙළ වදන්හි කලාතුරෙකින් මහාප‍්‍රාණ ව්‍යඤ්ජනාක්ෂර ද යෙදී ඇති බව යි. අමාවතුර, ධර්ම ප‍්‍රදීපිකා වැනි ග‍්‍රන්ථවල එ බඳු වදන් දැකිය හැකි වෙයි. 6. අධිතක්සේරුව - ‘තක්සේරුව’ යන්න සිංහල වදනක් නොවන නමුදු බෙහෙවින් වහරෙහි යෙදෙන බැවින් දැන් ඒ සිංහල වදනක් බවට පත් වැ ඇත්තේ ය. එහෙයින් ඒ හා යෙදිය යුත්තේ ‘අදි’ යන (සිංහල* උපසර්ගය යි. එවිට නිවැරැුදි වදන වනුයේ ‘අදිතක්සේරුව’ යන්නයි. 7. අධිමිල - මෙහිද ඇත්තේ ‘අධිරජ’ යන්නෙහි වන වරද ම යි. ‘අදිමිල’ යැයි සිංහලයට අනුරූප කොට හෝ ‘අධිමූල්‍ය’ යැයි සංස්කෘතයට අනුරූප කොට හෝ මෙය නිවැරැුදි කළ හැකි ය. එහෙත් ‘මූල්‍ය’ යන්නෙන් අද වහරෙහි දී ‘මිල’ (චරසජැ* යන්නෙහි අරුත කෙළින් ම නොලැබෙන බැවින් අරුත අතින් සලකන කල ‘අදිමිල’ යන්න වඩා සුදුසු යැ යි පෙනේ. 8. අධියර – මෙය සිංහල වදනෙකි. එ හෙයින් මහාප‍්‍රාණ ‘ධි’ යන්න යෙදීමට ඉඩක් නො වේ. නිවැරැදි වදන නම් ‘අදියර’ යන්න යි. මේ හා සමාන අර්ථයෙන් සංස්කෘතයේ ‘අධිකර’ යන්න යෙදේ. ‘අධියර’ යන අපශබ්දය බිහි වැ ඇත්තේ මෙ දෙක පටලවා ගැනීමෙන් විය යුතු ය. 9. අධිරජ - ‘අධි’ යනු සකු බසෙහි (සංස්කෘත භාෂාවෙහි* යෙදෙන උපසර්ගයෙකි. ‘රජ’ සිංහල වදනෙකි. මේ දෙක එක් කොට යෙදීම නො ගැළැපේ. මෙහි දී මේ වදන දෙ අයුරෙකින් නිවැරැුදි කැරගත හැකි ය. ‘රජ’ යන්න හා අනුරූප සංස්කෘත රූපය වන ‘රාජ’ යන්න යොදා ‘අධිරාජ’ යැයි යෙදිය හැකි ය. නැතහොත් ‘අධි’ යන සංස්කෘත උපසර්ගය හා අනුරූප ‘අදි’ යන සිංහල උපසර්ගය යොදා ‘අදිරජ’ යැ යි යෙදිය හැකි ය. මේ දෙ විදියම නිවැරැුදි යි. 10. අධීක - මේ වැරැදි වදන බෙහෙවින් යොදන්නෝ නිවේදකයෝ යි. අධිකත්වය වැඩි කරනු පිණිස දෝ ඔවුහු ‘ධි’ යනු දීර්ඝ කොට උච්චාරණය කරති. ‘අධීක’ යන වැරැදි යෙදුම ලේඛනයට පිවිසියේ ඒ ඇසුරින් යැයි සිතිය හැකි යි අධි + ක = අධික යි. 11. අධීන - මේ වදන නිවැරැදි යි. මෙහි අරුත යමකට අයත් යනුයි. ඒ අනුව, තමා අයත් වූයේ ස්ව + අධීන = ස්වාධීන වෙයි. පර (අනුන්) අයත් වූයේ පර + අධීන = පරාධීන වෙයි. ඇතැම්හු දීන නොවන යන අරුතින් ‘අධීන’ යනු යොදති. ඒ වරදෙකි. දීන නොවනුයේ ‘අදීන’ යි. එහෙයින් මේ වදන් දෙක නිවැරැදි අරුත අනුව ම යෙදිය යුතු වෙයි. 12.අධ්‍යතන – අධ්‍යයන, අධ්‍යාපන වැනි වදන්හි මහාප‍්‍රාණ ‘ධ’ යෙදෙනුයේ ‘අධි’ උපසර්ගය යෙදෙන හෙයිනි. ඒ හා පටලවා ගැනීමෙන් දෝ ඇතැම්හු අද්‍යතන යන්නෙහි දු මහාප‍්‍රාණ ‘ධ’ යන්නක් යොදති. එය වරදෙකි. වර්තමාන (අද) යන අරුතින් සංස්කෘතයේ යෙදෙන්නේ ‘අද’ යන්න යි. එයට ‘තින’ ප‍්‍රත්‍යයය එක් වූ විට ‘අද්‍යතන’ යන වදන බිහි වේ. ඇතැම් විටෙක මෙහි අධ්‍යථන යැ යි මහාප‍්‍රාණ ‘ථ’ යන්නකුදු ඇතැම්හු යොදති. එ ද වැරැදි ය. කාලාර්ථය දැක්වීම සඳහා සංස්කෘතයෙහි යෙදෙනුයේ ‘තින’ ප‍්‍රත්‍යයය යි. මේ අනුව ඉතා නිවැරැදි වදන අද්‍යතන වේ. 13. අධ්‍යන - පුවත්පත්හි පමණක් නො ව විශ්වවිද්‍යාලය ආශ‍්‍රිත ලේඛනවල පවා නිරතුරු ව මේ වැරැදි වදන යොදනු දැකිය හැකි යි. සංස්කෘතයෙහි ‘අයන’ යනුවෙන් ගමන කියැවේ. අධි + අයන = අධ්‍යයන වේ. ‘අධි’ උපසර්ගයෙහි ‘ඉ’ සන්ධියේ දී ලොප් වී ‘ය්’ යනු එ තැනට පැමිණ ‘අයන’ යන්නෙහි ‘අ’ සමඟ එක් ව යංශය (්‍ය) සෑදෙයි. එහෙත් ‘අයන’ යන්නෙහි ම තව ‘ය’ අකුරකුදු ඇති බව නොමතක නොකළ යුතු ය. එහෙයින් මේ වදන නිවැරැදි වැ ලිවීමේ දී ඒ යංශය හා සමඟ නො වරදවා ම තව ‘ය’ යන්නකුදු යෙදිය යුතු ය. 14.අධ්‍යාත්මික – කලින් දැක්වූ ‘අධ්‍යාත්ම’ යන වදනට ‘ඉක’ යන තද්ධිත ප‍්‍රත්‍යයය එක් වීමෙන් මේ වදන නිපැදේ. යම් වදනකට ‘ඉත’ ප‍්‍රත්‍යය එක් වේ නම් ඒ වදනේ ආදි (මුලින් ම ඇති) ස්වරය වෘද්ධි වීම (වර්ධනය වීම) සංස්කෘත භාෂාවේ රීතියෙකි. (එසේ නොවන තැනුදු කිහිපයක් ඇත.) මේ අනුව අධ්‍යාත්ම + ඉක සන්ධි වීමෙන් ඇති වනුයේ ‘ආධ්‍යාත්මික’ යන නිවැරැදි වදන යි. අධ්‍යාත්ම යන්නෙහි මුල ‘අ’ ස්වරය යෙදෙන බව ද ආධ්‍යාත්මික යන්නෙහි ‘ආ’ (දීර්ඝ ස්වරය) යෙදෙන බව ද විශේෂයෙන් සැලැකිය යුතු ය.