ඔබ සිටින්නේ
මුල් පිටුව > හරි වහර > ආ’ යන්න
1. ආකර්ශන - මේ සිංහලයෙහි බහුල වැ යෙදෙන සංස්කෘත තත්සමයෙකි. ‘ඇද ගැනීම යනු අරුත යි. සංස්කෘතයෙහි ‘ආ’ පූර්ව වූ ‘කෘෂ්’ ධාතුවට (ක‍්‍රියා මූලයට) ‘අන’ යන වර්තමාන කෘදන්ත ප‍්‍රත්‍යයය එක් වීමෙන් මේ වදන උපදී. මෙහි වනුයේ (මූර්ධජ) ‘ෂ’ වේ. එ හෙයින් එයට පසු වැ යෙදෙන ‘අන’ ප‍්‍රත්‍යයයේ (දන්තජ) ‘න’ යනු (මූර්ධජ) ‘ණ’ බවට හැරේ. ‘ෂ්’ ශබ්දයට පසු වැ යෙදෙන ‘න්’ ශබ්දය ‘ණ්’ බවට හැරීම සංස්කෘතයෙහි අනිවාර්ය රීතියෙකි. එ අනුව, මෙහි නිවැරැදි යෙදුම නම් ‘ආකර්ෂණ’ යනු යි. ආකර්ෂණීය ආදිය ද නිවැරැදි වන සැටි මේ අනුව සැලැකිය යුතු වේ. 2. ආකූල - ‘අවුල්’ අරුත දෙන සංස්කෘත තත්සමයෙකි. නිවැරැදි වදන නම් ‘ආකුල’ යනු යි. (කෙටි පාපිල්ල) සහිත ‘කු’ විනා (දිගු පාපිල්ල) සහිත ‘කූ’ නොයෙදේ. නිරාකුල, ව්‍යාකුල ආදියෙහි ද මෙසේ ම යෙදේ. 3. ආකාස්මික - මෙහි නිවැරැදි යෙදුම ආකස්මික යනු යි. ‘ආ’ යනු පෙර කොට යෙදෙන ‘ක’ අකුරට ඇල පිල්ලක් නොයෙදෙන බව වෙසෙසින් සැලැකිය යුතු ය. වදනෙහි අරුත ‘ඉබේ’ යන්න යි. 4. ආචාර්්‍ය - වර්තමාන සිංහලයෙහි අතිශය බහුල වැ යෙදෙන සාවද්‍ය ව්‍යවහාර අතුරින් මුලට ම ගත හැකි යෙදුමෙකි, මේ. බොහෝ විට භාෂාඥයන් මෙහි වරද පෙන්වා දී ඇති නමුදු තව මත් පුවත් පත් ආදියෙහි මෙය නිරතුරු වැ යෙදෙන අයුරු දක්නා ලැබීම සංවේගජනක වේ. යට දැක්වුණු (ආචාර්්‍ය යන) ආකාරයෙන් පමණක් නො ව ආචාර, ආචාර්්‍යය ආදි නොයෙක් අයුරිනුදු මේ වදන ලියනු බොහෝ විට දක්නා ලැබේ. මෙහි ලා සැලැකිය යුතු කරුණු කිහිපයෙකි. * සිංහලයෙහි කිසි දු තැනෙක ‘ර’ අකුරට පසු වැ යංශය (්‍ය) නො යෙදේ. * යංශයට පෙර යෙදෙන අකුර ලියැවෙන්නේ ‘අ’ ස්වර සංයුක්ත රූපයෙන් හෙවත් කිසි දු පිල්ලක් එක් නො කොට පවත්නා රූපයෙනි. එහෙත් එය කියැවෙන්නේ ස්වර වියුක්ත වැ හෙවත් ‘හල්’ අකුරෙක ශබ්දයෙනි. (ක්‍ය = ක්ය, ස්‍ය = ස්ය ආදි වශයෙනි.) * ‘ර්’ කාරය සමඟ යංශය යෙදිය යුතු නම් එහි ලා ‘ර්’ රූපය නො ව රේඵය (ර්) යෙදිය යුතු ය. එයට පෙර තව ද ‘ය’ කාරයකුදු යොදනු සම්ප‍්‍රදායය වේ. * රේඵය සමඟ යංශය ම යෙදිය යුතු නො වේ. ‘ය’ රූපය වුව ද යෙදිය හැකි ය. මේ සියලු කරුණු සැලැකිල්ලට ගත් කල්හි, යට දැක්වුණු වදන ආචාර්ය, ආචාර්‍ය යන කවර ලෙසින් ලියැවුණ ද නිවරද යැ යි කිය හැකි ය. එහෙත් වර්තමාන සිංහලයට වඩාත් ගැළැපෙනුයේ ‘ආචාර්ය’ යන රූපය යි. එ සේ ලියූ කල අවුලකට ඉඩක් නො ලැබේ. ධෛර්ය (ය), වීර්ය (ය), සෞන්දර්ය (ය), ආදි රේඵ - ‘ය’ කාර සංයුක්ත අනෙක් වදන් ලිවීමෙහි දී ද යථෝක්ත න්‍යායය ම යෙදේ. 5. ආඩ්‍ය - මෙහි යෙදිය යුත්තේ (අල්පප‍්‍රාණ) ‘ඩ’ නො ව (මහාප‍්‍රාණ) ‘ඪ’ යනු යි. එ හෙයින් නිවැරැදි වදන වනුයේ ‘ආඪ්‍ය’ යනු යි. මෙහි අරුත ‘යමෙකින් පිරුණු’, ‘යමක් සහිත’ යනු යි. 6. ආදී - මෙ ද අතිශය බහුල වැ යෙදෙන වැරැදි වහරෙකි. ලියන වහරෙහි මතු නො ව කියන වහරෙහි කථා ව්‍යවහාරයෙහි ද බොහෝ විට මෙය යෙදෙනු අසන්නට ලැබේ. ස්වකීය නිවේදන සාමර්ථ්‍යය දක්වනු පිණිස දෝ අවශ්‍ය - අනවශ්‍ය සියලු තන්හි දී වදන් බර කොට, හ‍්‍රස්ව (කෙටි) ස්වර දීර්ඝ කොට උච්චාරණය කරන නිවේදක - නිවේදිකාවන් ගේ මුවෙහි මේ වදන නිරතුරු වැ රැඳේ. මෙහි නිවැරැදි වදන (කෙටි) ‘දි’ සහිත ‘ආදි’ යන්න යි. පුරාතන නොහොත් මූල වැනි අරුත්හි මේ යෙදේ. වදනෙහි පියෙවිය (ප‍්‍රකෘතිය) මෙ සේ (කෙටි) ‘දි’ සහිත වැ යෙදුණ ද විභක්ති ප‍්‍රත්‍යය යන්න කල්හි ‘ආදීහු, ‘ආදීන්, ආදීනව ආදි වශයෙන් (දිගු) ‘දී’ සහිත වැ යෙදෙන අයුරු වෙසෙසින් සැලැකුව මනා. 7. ආදෘශ - කලකට පෙර ගත්කරුවන් විසින් බෙහෙවින් යොදන ලද වැරැදි වදනෙකි මේ. මෙ පමණක් නො ව, ආදෘශමත් වැනි වදන් ද එ කල ගත්කරුවන් විසින් ලියන ලදුයේ සිය පාණ්ඩිත්‍යය පෙන්වනු පිණිස ය. මෙහි නිවැරැදි යෙදුම ආදර්ශ යනු යි. සංස්කෘතයෙහි ‘ආ’ පූර්ව වූ ‘දෘශ්’ ධාතුවට ‘අ’ ප‍්‍රත්‍යය එක් වීමෙන් නිපැදෙනුයේ ආදර්ශ යන වදන යි. ස්පෘශ් + අ = ස්පර්ශ; කෘෂ් + අ = කර්ෂ ආදිය මෙහි ලා සාදෘශ්‍ය වේ. 8. ආදර්ශමත් - නිතර දක්නා ලැබෙන වැරැදි යෙදුමෙකි. ආදර්ශවත් යනු යි නිවැරැදි යෙදුම. මේ පදය නිපැදෙනුයේ ‘ආදර්ශ’ යන්නට ‘වත්’ ප‍්‍රත්‍යය එක් වීමෙනි. අ, ආ, ඇ, ඈ යන ස්වරයෙකින් අවසන් වන වදන් සමඟ යෙදෙනුයේ ‘වත්’ ප‍්‍රත්‍යය යි. ‘ආදර්ශ’ යන්න අවසන් වනුයේ ‘අ’ ස්වරයෙනි. එ හෙයින් ඒ සමඟ යෙදෙනුයේ ‘වත්’ ප‍්‍රත්‍යය යි. මෙහි ‘මත්’ ප‍්‍රත්‍යය යෙදීම වරදෙකි. ධනවත්, බලවත්, සාරවත්, ශෝභාවත් ආදිය නිදර්ශන වේ. ‘මත්’ ප‍්‍රත්‍යයය යෙදෙනුයේ ඉ, ඊ, උ, ඌ යන ස්වරයෙකින් අවසන් වන වදන් සමඟ යි. රූමත්, සිරිමත්, ධීමත් ආදිය එහි ලා නිදර්ශන වේ. වත්, මත් යන ප‍්‍රත්‍යය දෙක ම ‘සහිත’, ‘ඇති’ යන අරුත දෙනු පිණිස යෙදේ. එ අනුව, ‘ආදර්ශවත්’ යන්නෙහි අදහස ආදර්ශ ඇති, ආදර්ශ සහිත යනු යි. වත්මන් වහරෙහි ‘ආදර්ශයක් වන’ (ඉංගිරිසියෙහි ‘model’ යන) අරුත දීම පිණිස ද මෙ වදන යොදනු ලැබේ. 9. ආධ්‍යාත්මය - සිත, මනස යන අරුත් දීම පිණිස වහරෙහි යෙදෙන සංස්කෘත තත්සමයෙකි. මේ වදන නිපැදෙනුයේ ‘ආත්ම’ යන්නට ‘අධි’ උපසර්ගය එක් වීමෙනි. අධි + ආත්ම සන්ධි වීමෙන් ඇති වනුයේ අධ්‍යාත්ම විනා ආධ්‍යාත්ම නො වේ. එ හෙයින් නිවැරැදි වදන ‘අධ්‍යාත්මය’ යි. ‘අ’ විනා ‘ආ’ වදනෙහි මුල නොයෙදෙන බව වෙසෙසින් සැලැකිල්ලට ගත යුතු යි. එහෙත් මෙයට ‘ඉත’ ප‍්‍රත්‍යයය එක් වීමේ දී ‘ආධ්‍යාත්මික’ වේ. 10. ආන්ත‍්‍රාව - මහ මඟ ඇති විදුලිය සම්පේ‍්‍රෂණ යන්ත‍්‍ර ආදිය අසල ලොකු අකුරින් මේ වදන ප‍්‍රදර්ශනය කැරෙනු දක්නා ලැබේ. සමහර විටෙක ‘අන්ත‍්‍රාව’ යනු ද යොදා ඇති අයුරු දැකිය හැකි ය. මේ වනාහි ‘අන්තරාය’ යන්නෙහි විකෘතියෙකි. නිවැරැදි වදන අන්තරාය යි. එය ඒක වචන බවට පත් කිරීමේ දී තව ද ‘ය’ අක්ෂරයක් අගට එකතු වැ ‘අන්තරායය’ වේ. මේ සංස්කෘත තත්සමයෙහි අරුත නම් උපද්‍රව යනු යි මේ හා සම වැ යෙදෙන හෙළ වදන ‘අතුරු’ වේ. වාර්තමානිකයෝ අනතුරු යන්න ද යොදති. 11. ආනයනික - ඇතැම් වාණිජ ද්‍රව්‍ය ආදිය ගැන කීමේ දී මේ වදන යොදනු දැකිය හැකි ය. වෙසෙසින් පුවත්පත්හි යෙදෙන වදනෙකි. ඉංගිරිසියෙහි ‘imported’ යන අරුත දීමට මේ ආනයනික යන්න යොදන බව පෙනී යයි. ‘ආනයන’ යන්න ‘ගෙන එන’ යන අරුතැති වැ සංස්කෘතයෙහි යෙදෙන වර්තමාන කෘදන්තයෙකි ඒ හා අනුරූප නිවැරැදි අතීත කෘදන්තය ‘ආනීත’ යන්න යි. imported යන අරුතට ගැළැපෙනුයේ එය යි. එය බර වැඩි බවක් පෙනේ නම් ‘ආනයනය කළ / කරන ලද’ බඳු යෙදුමක් යෙදිය හැකි යි.
Top