අ’යන්න: I (අකුලනවා – අතුනු)

1. අකුලනවා – මේ භාව කෘදන්ත පදය නිපැදෙනුයේ ‘අකුළ’ යන ධාතුවෙනි (ක‍්‍රියා මූලයෙනි. එහි යෙදෙන්නේ දාන්ත්‍ය ‘ල’ නො ව මූර්ධන්‍ය ‘ළ’ වේ. එ හෙයින් එයින් නිපැදෙන සියලු ක‍්‍රියා රූපවල යෙදිය යුතු ‘ළ’ යනු ම ය (අකුළයි, අකුළති, ඇකිළී, ඇකුළුෑ ආදි වශයෙනි. ‘අකුළ’ යනු ඇති වන්නේ ‘හකුළ’ යන්නෙහි ‘හ්’ අකුර ලොප් වීමෙනි. 2. අක‍්‍රීය – මෙය, සංස්කෘත භාෂාවේ ‘අ’ (උපසර්ගය පූර්ව වූ ‘කෘ’ ධාතුවෙන් නිපැදෙන (විශේෂණ පදයෙකි. මෙහි යෙදෙන්නේ (දීර්ඝ ‘ක‍්‍රී’ අකුර නො ව (හ්‍රස්ව ‘ක‍්‍රි’ අකුර ය එ හෙයින් නිවැරැදි යෙදුම වනුයේ ‘අක‍්‍රිය’ යනු යි. ‘සක‍්‍රීය’ යන්න ද මෙ බඳු ම වැරැදි යෙදුමෙකි. එහි නිවැරැදි යෙදුම ‘සක‍්‍රිය’ වේ. ‘කෘ’ ධාතුවෙන් නිපදිත ‘ක‍්‍රියා’ යන (නාම පදයේ (කෙටි ‘ක‍්‍රි’ යෙදෙන සැටි දු විමැසීම මැනැවි. කිසිවෙක් ‘ක‍්‍රීයා’ යනු නො ලියති; නො කියති. 3. අග්ගලා – මෙහි හරි යෙදුම ‘අග්ගළා’ යනු යි. අතින් ඝටනය කොට සාදන හෙයින් අත් – ගළා (පර රූපය ගැනීමෙන් අග්ගළා වේ. ගුළි නො කොට, කුඩු ලෙසින් ම භාවිත කිරීමේ දී ‘අත්සුනු’ යන වදන යෙදේ. 4. අහළ පහළ – මේ බොහෝ දෙනකු වරදවා යොදන යුගල පදයෙකි මෙයට බෙහෙවින් හේතු වී ඇත්තේ ‘හ’ අකුරට පසු වැ ‘ල’ ‘ළ’ දෙකින් එකක් යෙදේ නම් ඒ ‘ළ’ යනු ම විය යුතු යැ යි ඇතැමුන් වෙත පවත්නා වැරැදි අදහස යි ‘අහල’ යන්නෙහි මුල් රුව ‘අසල්’ යන්න වෙයි ‘අස’ යනු ළඟ යි. ල, ල් දෙක ම සිංහලයේ යෙදෙන ස්වාර්ථ (අර්ථය වෙනස් නො කොට ඒ අර්ථය ම දෙන තද්ධිත ප‍්‍රත්‍යය වෙයි. ස – හ මාරුවෙන් අසල ම අහල වේ. පසල යන්න ද පස යන්නට ල ප‍්‍රත්‍යයය එක් වීමෙන් නිපැදෙන බව දැක්විය හැකි ය. මේ හා අනුරූප වැ සංස්කෘතයේ ‘ප‍්‍රත්‍යන්ත’ යනු ද පාලියේ ‘පච්චත’ යනු ද යෙදෙන බව ද දැක්වුව මනා වේ. මේ අනුව නිවැරැදි යෙදුම ‘අහල පහල’ වේ. 5. අගමැති – මෙ ද අවධානය යොමු විය යුතු යෙදුමෙකි. අග + ඇමැති යනු සන්ධි වී නම් ‘අගැමැති’ විය යුතු ය. අග (උග‍්‍ර + මැති (මන්ත‍්‍රී යනු සමාස වී නම් අගමැති විය හැකි ය. එහෙත් ‘අග‍්‍රාමාත්‍ය’ (අග‍්‍ර + අමාත්‍ය යන්නට අනුරූප සිංහල වදන ලෙස අගමැති යන්න යෙදීම නිවැරැදි ද යනු විමැසුව මනා වේ. අගැමැති යන්නෙහි ‘ගැ’ යනු ‘ග’ වීමෙන් අගමැති යන රූපය නිපැදුණු බවට ද තර්ක කළ නො හැක්කේ නො වේ. තව ද දුරට විමැසිය යුතු තැනෙකි. 6. අදාල – මෙය ‘හදාර’ ධාතුවෙන් නිපැදුණු අතීත කෘදන්ත පදයෙකි. හදාර ධාතුව හැදෑරීම, කීම ආදි අරුත්හි යෙදේ. එහි මුල ‘හ්’ ලෝපයෙන් හදාර යනු අදාර වේ. කර – කළ, හර – හළ, පතර – පතළ වන අයුරින් අදාර යන්නෙන් අදාළ යන කෘදන්ත රූපය නිපැදේ. අද මෙය අර්ථ විපර්යාසයට පත් ව ‘හදාළ’ යනු එක් අරුතක් ද ‘අදාළ’ යනු වෙනත් අරුතක් ද දෙයි. එහෙත් යෙදිය යුතු ‘ළ’ ම ය. 7. අටලොස් - බොහෝ වියතුන් ගේ ලිපිවල ද මේ වදන මෙ සේ යෙදෙනු දක්නා ලැබෙයි. මෙහි යෙදිය යුත්තේ ‘ළො’ යනු යි. එ විට නිවැරැදි යෙදුම ‘අටළොස්’ වෙයි. මේ හා අනුරූප වැ පාලියේ යෙදෙනුයේ ‘අට්ඨාරස’ යන වදන යි. සංස්කෘතයේ වනාහි ‘අෂ්ටාදශ’ යනු යෙදේ. පාලි - සංස්කෘත භාෂාගත වචනයෙක යෙදෙන ර, ද ආදිය, ඒ හා අනුරූප සිංහල වචනයෙහි බොහෝ විට ‘ළ’ යනු වැ යෙදේ. එ හෙයින් ඒ අනුව බැලූව ද ‘අටළොස්’ යන්න ම නිවැරැුදි වේ. සප්තදශ (සං.) - සත්තරස (පා.) - සතළොස් (සිංහල), ත‍්‍රයෝදශ (සං.) - තේරස (පා.) - තෙළෙස් (සිංහල) ආදිය මේ හා සම කැර බැලීම මැනැවි. 8. අඩාල - මෙය බෙහෙවින් වරදවා යොදන වදනෙකි. හරි යෙදුම ‘අඩාළ’ වේ. අඩක් (කොටසක්) කරන ලද (අඩ කළ) යනු මෙහි මුල් අරුත යි. එහෙත් වත්මන් වහරෙහි ‘වැඬේ අඩාළ වුණා’ වැනි තන්හි නැවැතීම් අරුතින් ද මේ වදන යෙදෙනු පෙනේ. අඩක් කිරීමෙන් පසු ‘නැවැතුණා’ යන අරුත ද ගත හැකි බැවින් එ සේ යෙදීම වරදක් ලෙස දැකිය හැකි නො වේ. 9. අන්වීක්ෂය - විද්‍යාව පිළිබඳ ලේඛනවල බෙහෙවින් මේ වැරැදි වදන යෙදේ. නිවැරැදි වනුයේ ‘අණ්වීක්ෂය’ යනු යි. මෙය නිපැදෙනුයේ සංස්කෘතයෙහි අණු + ඊක්ෂ යන දෙකෙහි සන්ධියෙනි. ‘අණු’ නම් ඉතා ම කුඩා කොටස් ය. ඊක්ෂ’ නම් බැලීම යි. ‘උ’ ලෝපයෙන් ද ‘ව්’ ආගමයෙන් ද අණු + ඊක්ෂ ඝ අණ්වීක්ෂ වේ. අන්වීක්ෂ යැ යි ලියුව හොත් අරුත වනුයේ (අනු + ඊක්ෂ) අනුව බැලීම වේ. මේ  ‘Microscope’ යන ඉංගිරිසි වදන සඳහා තනන ලද පාරිභාෂික වචනයෙකි. ‘අණුදක්නය’ යනු හෙළ බසට වඩාත් ගැළැපෙන වදන යි. 10. අතුල - මෙහි අරුත ‘අසමාන’ යන්න යි. අතුරන ලද යන අරුත දෙන්නට නම් ‘අතුළ’න්න යෙදිය යුතු වේ. එ හෙයින් ‘වැලි අතුල මළුව’ වැනි යෙදුම් නිවැරැදි නො වේ. 11. අතල - ‘අතුරන ලද’ යන අරුතින් ඇතැම්හු මෙය යොදති. ‘අතුළ’ යනු මෙන් ම මෙය ද ඒ අරුතින් ‘අතළ’ විය යුතු යි. මෙහි තව ද අරුතක් වෙයි. එ නම් ‘කෙණ්ඩිය’ යන්න යි. පැන් අතළ යනු ම එ හෙයින් නිවැරැුදි වදන වේ. 12. ඇතුලු - නොයෙක් වියතුන් විසින් බොහෝ වර මෙහි වරද පෙන්වා දී ඇති නමුදු තව මත් බෙහෙවින් වරදවා යෙදෙන වදනෙකි. දිගු කලක් මුළුල්ලේ වහරෙහි පැවැතුණු මේ වදන දැන් අන්ත්‍ය ස්වරය (වදනෙහි අග යෙදෙන ‘උ’ ස්වරය ලොප් කොට ‘ඇතුල්’ යන රූපයෙන් ද යෙදේ. ‘ඇතුල්කෝට්ටේ’, ‘ඇතුල්පත්’ වැනි වදන් දැන් වහරට කා වැදී ඇත්තේ ය. කෙසේ වුවත් මෙහි නිවැරැදි යෙදුම ‘ඇතුළු’ යන්න යි. සංස්කෘතයෙහි අන්තඃ ඝ අන්තර යන්නෙහි අරුත ලැබෙන්නේ ඇතුළු යන්නෙනි. 13. ඇතුළාන්තය - ඇතැම් විට වඩාත් වරදවා ‘ඇතුලාන්තය’ යනුවෙන් ද ලියැවෙන මෙය ඉතා මෑතෙක දී සිංහල වහරට එකතු වූ වදනක් ලෙස සැලැකිය හැකි යි. ‘ඇතුළු’ යන සිංහල වදන හා ‘අන්ත’ යන (පාලි - සංස්කෘත දෙක්හි ම යෙදෙන වදන සන්ධි කිරීම නො ගැළැපේ. ඇතැමුන් මෙය ඇතුළේත් ඇතුළ යන අරුතින් යොදන නමුදු එ බඳු අරුතක් මෙයින් නො ලැබේ. සංස්කෘතයෙහි අන්තඃ, පාලියෙහි අන්තො යනු ඇතුළු අරුතින් යෙදුණ ද සිංහලයෙහි ‘අන්ත’ යන්නෙන් ලැබෙනුයේ ‘කෙළවර’ යන අරුත යි. එ හෙයින් ඇතුළාන්තය යන්නෙන් ගත හැක්කේ ඇතුළු කෙළවර යන අරුත ම ය. 14. අතරමග - මෙහි නිවැරැදි වහර ‘අතරමඟ’ යනු යි. කට වහරෙහි පවා ‘අතරමං’ යනු යෙදේ. ‘මග’ යන්න යටතේ වැඩි දුරටත් විමසා බලමු. 15. අත්‍යාධික - බෙහෙවින් දක්නා ලැබෙන වැරැදි වහරෙකි. මේ වදන කෙසේ නිපැදෙන්නේ ද යනු විමැසීමෙන් වරද වටහාගත හැකි වේ. අති + අධික යනු සන්ධි වීමේ දී ‘ති’ යන්නෙහි අග ස්වරය ‘ඉ’ ලොප් වේ. එ සඳහා ‘ය්’ යන සමඟ එක් වී ‘ය’ බවට පැමිණේ. එවිට මුළු වදන ‘අත්‍යධික’ යනුවෙන් සිටී. යංශයට පසු වැ ඇලපිල්ලක් යෙදීමට කිසි දු හේතුවක් නො පෙනේ. 16. අත්‍යාලංකාර - මෙය ද අත්‍යාධික යනු මෙන් ම වැරැදි ලෙස වහරන වදනෙකි. අති + අලංකාර යන දෙ වදන සන්ධි වීමේ දී (පෙර කියූ සේ ම) ‘ත’ යන්නෙහි ‘ඉ’ ලොප් වී ‘ය්’ ආගම වී අලංකාර සමඟ එක් වී අත්‍යලංකාර යන නිවැරැදි වදන නිපැදේ. 17. අත්‍යාන්ත - මෙය ද පෙර පරිදි ම වැරැදි ලෙස යොදන වදනෙකි. අති + අන්ත යන දෙ වදන සන්ධි වීමෙන් නිපැදෙනුයේ අත්‍යන්ත යන්න යි. 18. අත්‍යාවශ්‍ය - පුවත් පත් ආදියෙහි නිතර ම මේ වැරැදි වදන යොදනු දක්නා ලැබේ. අති + අවශ්‍ය යන වදන් දෙක සන්ධි වීමෙන් අත්‍යවශ්‍ය යන්න සෑදේ. යංශයෙන් පසු ව ඇල පිල්ලක් නො යෙදේ. සැලැකිය - අංක 15, 16, 17, 18 යටතේ එන සියලු වදන් බලන්න. ඒවායෙහි සන්ධි වන වදන් දෙකින් දෙ වන වදනේ මුල වනුයේ ‘අ’ යනු යි. එය සමඟ ‘ය්’ එක් වීමෙනි ‘ය’ යනු සෑදෙනුයේ. (යංශය යෙදෙනුයේ මේ ‘ය’ සඳහා යි) යම් විටෙක මෙ සේ ම ‘අති’ යන උපසර්ගය සමඟ ‘ආ’ අකුරින් ඇරැඹෙන වදනක් සන්ධි වේ නම් එ කල්හි (සන්ධි වී සෑදුණු වදනෙහි) යංශයට පසු ව ඇල පිල්ලක් යෙදීම වැරැදි නො වේ. එ බැවින් අත්‍යාදරය (අති + ආදරය) අත්‍යාසන්න (අති + ආසන්න) ආදිය නිවැරැදි වදන් බව මැනැවින් වටහාගත යුතු ය. එ සේ ම, මේ අයුරින් සන්ධි වන වදන් සියල්ල සංස්කෘත භාෂාවට අයත් වදන් බව ද සිහි කළ යුතු වේ. 19. අතීසාර - මෙහි නිවැරැදි වදන අතිසාර යි. අති + සාර සන්ධි වීමෙන් අතිසාර වේ. ‘ති’ ‘තී’ වීමට කිසි දු හේතුවක් දැක්විය හැකි නො වේ. එහෙත් මෙය වෛද්‍ය ශාස්ත‍්‍රයෙහි, වෛද්‍ය ග‍්‍රන්ථවල බෙහෙවින් යෙදෙන හෙයින් ම පිළිගැනීමට ලක් වැ ඇත. තව දුරටත් විමැසිය යුතු වදනෙකි. 20. අත්සන - අද වහරෙහි ‘අත්සන’ යනු යොදන්නේ ඉංගිරිසියෙහි ‘signature’ යන්නෙහි අරුත දක්වනු පිණිස යි. එහෙත් පැරැණි වහරෙහි එය යෙදුණේ හස්ත සංඥාව හැඟැවීම පිණිස යි. එ නම් අතින් කරන සංඥාව යි. සිල් බලය වර්ණනා කරන ගුරුළුගෝමීහු ‘හැම සැපත් කැඳවන අත්සන’ යි පවසති. අතින් කරන කැඳවීම එයින් පැහැදිලි වැ කියැවේ. ‘signature’ අරුත දීම සඳහා යෙදිය යුත්තේ අස්සන යන්න යි. එය හස් (හංස) + සන් (සංඥාව) යන දෙ වදන එක් වීමෙන් නිපැදුණු සේ සැලැකේ. පෙර කල රාජ මුද්‍රාව පිණිස යෙදුණේ හංස රූපයක් බවත් එහෙයින් හස්සන් යනු යෙදී පසු වැ ‘හ්’ ලොප් වීමෙන් අස්සන් යනු නිපැදුණු බවත් පිළිගැනේ. අද ස්වීයත්වය තහවුරු කැරෙන්නේ තමා ම අතින් ලියන සංඥාවක් (බොහෝ විට සිය නම) මඟිනි. එ හෙයින් ‘අත්සන’ යනු අස්සන් අරුතෙහි යෙදීම නොමැනැවි ද යනු විමැසිය යුතු ය. 21. අතීශය - මේ වදන බොහෝ විට නැෙඟන්නේ නිවේදකයන් ගේ මුවිනි. අධික බව වඩාත් අවධාරණයෙන් දක්වනු වස් ඔවුහු ‘ති’ යන්න දීර්ඝ කොට ‘අතීශය’ යැ යි කියති. මේ සාවද්‍ය උච්චාරණය ඇසුරින් ඇතැමුන් ගේ ලේඛනයට ද මේ වැරැදි යෙදුම පිවිසී ඇත. මෙහි යෙදෙන්නේ ‘අති’ උපසර්ගය යි. එ හෙයින් නිවැරැදි වදන අතිශය යන්න යි. 22.අතුනු (බහන්) - බඩවැළ හැඳින්වීමට යෙදෙන මෙහි යෙදිය යුතු මූර්ධන්‍ය ‘ණු’ යි. නිවැරැදි වදන අතුණු (බගන්) වේ. මේ හා සමාන වැ පාලියේ යෙදෙනුයේ ‘අන්තගුණ’ යන වදන යි. එහි අග මූර්ධන්‍ය ‘ණ’ කාරය යෙදෙන සැටි ද සලකන්න.