හරි වහර

භාෂාව විවිධ විද්වතුන් විසින් විවිධ ආකාරයෙන් අර්ථකථනය කරනු ලැබූවෙකි. ඇතැමකු එය දක්නේ සංස්කෘතියෙහි ප‍්‍රධානතම අංගයක් වශයෙනි. සංස්කෘතිය ගොඩනැඟෙන්නේ භාෂාව වටා ය යනු ඔවුන් ගේ අදහස වෙයි. වඩාත් සංවේදී ලෙස භාෂාව දක්නා ඇතැම්හු භාෂාව යනු හැඟුම් සමුදායෙකැ යි හඟිති. මේ සියල්ල මෙ සේ තිබෙන්නේ වී නමුදු වඩාත් ප‍්‍රචලිත අර්ථකථනය වන්නේ, ‘භාෂාව වනාහි අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යය යි’ යන්න යි. අදහස් පැවැසීම අතින්, පයින්, හිසින් කැරෙන ඉඟියෙන් බිඟියෙන් හෙවත් ශරීර භාෂාවෙන් ද කළ හැකි නිසා භාෂාව අදහස් පැවැසීමේ ප‍්‍රධාන මාධ්‍යය යි යනුවෙන් යථෝක්ත අර්ථකථනය ඇතැම් විද්වතුන් විසින් සකස් කරනු ලැබ ඇත. භාෂාවෙන් අප ගන්නා ප‍්‍රයෝජනය සාමාන්‍යයෙන් සලකා බලන කල්හි, ඒ අවසනට කී අර්ථකථනය බෙහෙවින් නිවැරැදි සේ පෙනේ. භාෂාවෙන් වෙනත් ප‍්‍රයෝජන ද ඇති නමුදු මිනිසුන් එය අතිව්‍යාප්තියෙන් යොදා-ගන්නේ සිය අදහස් අනෙක් තැනැත්තන් හට පැවැසීම පිණිස ම යි. (මෙ සේ ලොවට පවසන අදහස් පහළ වන්නේ කුමක් මාධ්‍ය කොටගෙන ද? මෙය විමසා බැලිය යුතු කරුණෙකි. නිදසුනෙකින් ම විමසමු. අප කවරකුට නමුදු ගිනි අඟුරක් පෑගුණ හොත් අපි වහා ම පය ඉවතට ගනිමු. එය ඉබේ කැරෙන ක‍්‍රියාවෙකි. ඉන් පසු වැ අපි එ ගැන සිතමු. ‘මේ ගිනි අඟුර මෙ තැනට ආවේ කෙසේ ද? කවුරුන් හෝ අතින් වැටුණා ද? නැත හොත් සිතා මතා ම කිසිවකු මෙය මෙ තැනට ගෙනැවිත් දැමුවා ද?’ අපි එ සේ සිතමු. ඒ සිතන්නේ කුමක් මඟින් ද? බස මඟිනි. එ හෙයින් අදහස් පැවැසීමේ මතු නො ව අදහස් සිතීමේ - චින්තනයේ - ද මාධ්‍යය, යටත් පිරිසෙයින් උසස් චින්තනයේ මාධ්‍යය ද භාෂාව ම ය. මෙ සේ භාෂාව මඟින් උපදවනු ලැබෙන, එයින් ලොවට පැවැසෙන අදහස් යනු යම් අර්ථ සමූහයෙකි. එ අනුව අර්ථ උත්පාදනයත් අර්ථ ප‍්‍රකාශනයත් භාෂාවේ කාර්ය වේ. තව ද දුරට විමසා බලන කල්හි, අදහස් සිතීමට හෙවත් අර්ථ උත්පාදනයට යොදා-ගැනුණු භාෂාව ම අදහස් පැවැසීමට හෙවත් අර්ථ ප‍්‍රකාශනයට නො යොදා-ගැනුණ හොත් සිතන අදහස ම නොපැවැසෙනු ඇත. එ සේ ම, අප පවසන දෙය ම අනෙක් තැනැත්තාට වැටැහීමට නම් ඔවුනුත් අප අදහස් පවසන බව දැන සිටිය යුතු ය. මේ සරල කරුණු කිහිපය දක්වන ලදුයේ සම්මත, නිවැරැදි බස් වහරක් වුව මනා කවර හෙයින් ද යනු වටහා-ගැන්මට රුකුලක් ලෙසිනි. අර්ථ ප‍්‍රකාශනය භාෂාවේ මූල කාර්යය වන බැවින් නිරවද්‍ය අර්ථ ප‍්‍රකාශනයට නිරවද්‍ය භාෂා ව්‍යවහාරයක් අත්‍යවශ්‍ය වේ. නිරවද්‍ය භාෂා ව්‍යවහාරය කුමක් ද? දැන් එ ගැන මඳක් විමසා බලමු. ‘භාෂා’ යන්නෙහි මුල් අරුත කථාව (භාෂණය) යන්න යි. මිනිසා විසින් කැරුණු ඉහළතම නිමැවුම ලෙසින් ඇතැමුන් දක්වන භාෂාව මුල දී යෙදුණේ හුදු භාෂණය පිණිස ම ය. එහෙත් කල් යත් යත් ම, භාෂණයෙන් කියැවෙන දේ පසු ව ද බලාගනු වස් රැක-ගන්නා ක‍්‍රමයක් කෙරෙහි මනුෂ්‍ය අවධානය යොමු විය. එහි පල විසින් ලේඛනය ඇති විය. භාෂණයට ද පෙර ආදිතම මනුෂ්‍යයාට හුරු වැ පැවැති චිත‍්‍ර කරණය මෙහි ලා වහල් කැරගැනුණු සේ පෙනේ. මුවින් පැවැසෙන ශබ්ද යම් කිසි රූපයෙකින් දැක්වීමට ගත් උත්සාහය සාර්ථක වීමෙන් ලේඛනය පහළ විය. ලේඛනය පහළ වන්නා හා ම භාෂාවේ කාර්ය ප‍්‍රමාණය ද වැඩි විය. විවිධ විෂය පිළිබඳ ලේඛන සඳහා එය යොදා-ගැනිණ. එහි පල විසින්, භාෂාවේ අර්ථ ප‍්‍රකාශන ශක්තිය ද තීව‍්‍ර වන්නට විය. ඉතා සියුම් අරුත් පවසන්නට බස යොදා-ගැනීම නිසා එහි සූක්ෂ්මාර්ථ ප‍්‍රතිපාදන ශක්තිය අභිවර්ධනය වන්නට විය. මෙය භාෂාවෙහි කොටස් දෙක ම ඇසුරින් විග‍්‍රහ කොට බැලිය හැකි ය. වාක් කෝෂය හෙවත් වචන මාලාව ය, ව්‍යාකරණය ය යනුවෙන් භාෂාවෙහි කොටස් දෙකක් වෙයි. ව්‍යාකරණය භාජනයක් වැනි ය. වාක් කෝෂය එහි පිරුණු ද්‍රව්‍යය වැනි ය. භාෂාවක් දරා සිටිනුයේ, පවත්වා-ගනුයේ, මෙහෙයවනුයේ ව්‍යාකරණය යි. එ හෙයින් එය භාෂාවෙහි සංස්තිථිය යි. එ මඟින් පැවැත්වෙනුයේ, මෙහෙයැවෙනුයේ වාක් කෝෂය යි. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකට බැඳී පවත්නා අංග යි. ව්‍යාකරණය වඩාත් සියුම් වී, ඉතා සියුම් අරුත් දිය හැකි ලෙස වර්ධනය වීම එහි අර්ථ ප‍්‍රකාශන ශක්තිය තීව‍්‍ර වීම යි. භාෂාවක් අතිව්‍යාප්ත වත් ම, බොහෝ සෙයින් භාවිතයෙහි යෙදෙත් ම එක් පසෙකින් මෙ සේ එහි අර්ථ ප‍්‍රකාශන ශක්තිය තීව‍්‍ර වෙයි. අනෙක් පසින් අප ශබ්ද නමින් ගැනෙන සාවද්‍ය භාවිත, වැරැදි යෙදුම් බහුල වෙයි. නිරවද්‍ය භාෂා ව්‍යවහාරය යනුවෙන් සැලැකෙනුයේ සූක්ෂ්මාර්ථ ප‍්‍රකාශන ශක්තියෙන් අනූන වූ, සාවද්‍ය භාවිත, වැරැදි යෙදුම් රහිත වූ ව්‍යවහාරය යි. මෙහි ලා තැත් කැරෙනුයේ, සාවද්‍ය භාවිත කවරේ ද, ඒ කවර හෙයින් සාවද්‍ය වේ ද, ඒ වෙනුවට යෙදිය හැකි නිරවද්‍ය භාවිත කවරේ ද යන හඳුනා-ගනිමින් සිංහලයේ නිරවද්‍ය ව්‍යවහාරය ස්ථාපනය පිණිස යි. - ශ්‍රීනාත් ගණේවත්ත 1 - අ’යන්න