යටගියාව

හෙළ හවුලේ ඇරැඹුමේ පටන් මේ දක්වා යටගියාවෙහි වෙසෙස් සිදු වීම් සැකෙවින් මෙ සේ යැ: • 1939 ජුලි 10 කුමාරතුංග මුනිදාසයෝ ‘සුබස’ සගනුව ඇරැඹූ හ. වැඩි කල් නො යා මැ එ වකැ වුසූ පාසල් ගුරුවරුන්, ලිපිකරුවන්, වෙදැදුරන්, නියදතුවන්, නොතාරිස්වරුන් ඈ උගත් තුරුණුවෝ 'සුබස' හා බැඳුණ හ. සුබසට ගැදි පැදි පබඳ සැපැයූ ඔහු තුමූ 'සුබසියෝ' නම් වූ හ. • 1941 ජනවාරි 11 'සුබස' නිසා මතු වුණු සුබැසියෝ පිරිසක් පාණදුරේ කුමාරතුංග මුනිදාසයන් ගේ නිවෙස වූ ‘හෙවණේ’ දී මුළු දුන් හ. ඒ පිරිසට 'හෙළ හවුල' යන නම දුන්නෝ ජයන්ත වීරසේකරයෝ යැ. ජයන්ත වීරසේකර, රැ. තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, අරීසෙන් අහුබුදු වැනි, පසු කලෙකැ හෙළ හවුලේ මහ තැන් ලැබූ වියතුන් බොහෝ දෙනෙක්‌ එ දා මුළුවට පැමිණ සිටිය හ. මුළු නයු වූවෝ ඒ.පී. ජයමාන්නයෝ යි. මුල් මැ සකසුරුවන් ලෙස එඩී පනඳු, අබිරම් ගම්හේවා යන දෙ පළ පත් වූ හ. • 1941 පෙබරවාරි 15 හෙළ හවුලේ පළමු වන රැස් වීම එහි පළමු වන නයුවාණන් වූ කුමාරතුංග මුනිදාසයන් ගේ ප්‍රධානත්වයෙන් පාණදුරේ මහානාම විද්‍යාලයයේ දී පැවැත්විණි. • 1941 දෙසැම්බර 13 නිරිත දිග හෙළ හවුලේ රැස් වීම අම්බලන්ගොඩ පැවැත්විණි. එ දා කුමාරතුංග මුනිදාසයන් මැරැවීමට එවා තුබුණු මැරයන් මැඬැ පවත්වා, කුමාරතුංගයෝ රැස්වීමේ කටයුතු ඉදිරියට ගෙනැ ගියහ. • 1941 - 1943 කෑගල්ල, මහනුවර, මාතර, දික්වැල්ල, අහංගම, උණවටුන, බළපිටිය, අම්බලන්ගොඩ, කළුතර ආදි පෙදෙස්වල අතු හෙළ හවුල් ඇති වියැ. • 1943 දෙසැම්බර් 11 අතු හෙළ හවුලෙකැ අවුරුදු සමුළුවක් (වාර්ෂික සම්මේලනයක්) මුල් වරට කෑගලු හෙළ හවුල විසින් පවත්වනු ලැබිණි. • 1944 මාර්තු 02 හෙළ හවුලේ පළමු වන නයු කුමාරතුංග මුනිදාසයෝ මෙ ලොවින් සමු ගත් හ. මෙ දිනැ සිටැ ජයන්ත වීරසේකර‍යෝ හෙළ හවුලේ නයු පදවියට පත් වූ හ. • 1945 මාර්තු 02 'කුමරතුඟු මුනිදස් පළමු වන සමරුව' කොළඹ ලක් සරසවියේ ජෝජි රාජ හලේ දී හෙළ හවුල විසින් පැවැත්විණි. මෙ තැන් සිටැ මේ දක්වා සෑම වසරෙකැ මැ මාරතු 02 වන දා හෙළ හවුල විසින් මේ සමරු උලෙළ නොකඩ වැ පවත්වනු ලැබේ. • 1946 හෙළ හවුලේ පොත් පත් පළ කිරීම පිණිසැ ‘රුවන් පොත් හවුල’ නමින් එකතුවෙක් පිහිටැවිණි. මෙයින් පළ වූ මුල් මැ පොත අමරසිරි ගුණවඩුවන් ගේ ‘සුව දුක’ යි. • 1948 අප්රේල් 24 ‘සිංහලය මෙ රටැ රාජ්‍ය භාෂාව කළ යුතු ය’ යන යෝජනාව මුලින් මැ ඉදිරිපත් කරමින් හෙළ හවුල විසින් කොළඹ පුර හලේ දී රැස් වීමෙක් පැවැත්විණි. මෙහි මුලසුන හොබවන ලදුයේ හෙළ හවුලේ නයු ජයන්ත වීරසේකරයන් විසිනි. • 1949 ජූනි 18 හෙළ හවුලෙහි දෙ වන නයු ජයන්ත වීරසේකරයෝ මෙ ලොවින් සමු ගත් හ. මෙ දිනැ සිටැ රැපියල් තෙන්නකෝන්හු නයු පදවිය හෙබැවූ හ. • 1961 මාර්තු 2 හෙළ හවුලේ මෙහෙයැවීමෙන් පාණදුරේ ගොරකානේ සොහොන් බිමෙහි ඉදි කැරුණු සිහිවටනයෙහි කුමරතුඟු මුනිදස් සිරුරු අළු තැන්පත් කැරිණි. • 1965 මාර්තු 08 හෙළ හවුලෙහි තෙ වන නයු කිවිසුරු රැපියල් තෙන්නකෝනුන් මෙ ලොවින් සමු ගත් හ. මෙ දිනැ සිටැ අමරසිරි ගුණවඩුවෝ හෙළ හවුලෙහි නයු පදවිය හෙබැවූ හ. • 1966 ජූලි 09 'හෙළ හවුලේ රිදී උලෙළ' (25 වන වසර සැමැරුම) දෙ දිනක් පුරා බොරැල්ලේ ‘රෙක්ස්’ මන්දිරයේ ද කොළඹ අනඳ විදුහලේ ද පැවැත්විණි. • 1977 ජූලි 08 හෙළ හවුලෙහි සිව් වන නයු අමරසිරි ගුණවඩුවෝ මෙ ලොවින් සමු ගත් හ. මෙ දිනැ සිට කෝදාගොඩ ඤාණාලෝක නා හිමි පාණෝ හෙළ හවුලේ නයු අසුන හෙබැවූ හ. • 1986 ජූලි 25 හෙළ හවුල හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක් වැ, 'කුමරතුඟු මුනිදස් උපත් සියවස' (1887-1987) නිමිති කොටැගෙනැ 'හෙළ බස් වසරක්' ප්‍රකාශයට පත් කැරිණි. මෙ තැන් සිට 1987 ජූලි මස තෙක් සිංහල භාෂාව මුල් කොටැගෙනැ මාසික සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්විණි. මේ සම්මන්ත්‍රණ මාලාවේ කැරුණු දෙසුම් 'සසඳු සටහන්' නමින් පොත් දෙකක් ලෙසින් පළ කැරිණි. • 1986 අගෝස්තු හෙළ හවුල මුල් වීමෙන්, රාජ්‍ය අනුග්‍රහය ද ඇති වැ නිවැරැදි සිංහලය ඉගැන්වීමේ පන්තියක් කොළඹ මහජන පුස්තකාලයයේ දී ඇරැඹිණි. මේ පන්තිය දෙ වසරක් පුරා පැවැත්විණි. • 1987 ජූලි 25 'කුමරතුඟු මුනිදස් උපත් සියවස් සමරුව' එ වකැ ජනපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පාණදුරේ පල්ලිමුල්ලේ දී පැවැත්විණි. ‘කුමාරතුංග මුනිදාස පදනම’ ඇරැඹීමේ මුල් කටයුතු ද මෙ දිනැ සිදු කැරිණි. • 1988 ජූනි හෙළ හවුලෙහි පස් වන නයු කෝදාගොඩ ඤාණාලෝක නා හිමි පාණෝ අපවත් වූ හ. මෙ දිනැ සිටැ වරකාගොඩ සිල්රුවන් නා හිමි පාණෝ හෙළ හවුලේ නයු පදවිය හෙබැවූ හ. • 1991 ජනවාරි 'හෙළ හවුලේ රන් උලෙළ' (50 වන වසර සැමැරුම) කොළොඹ මහජන පුස්තකාලයේ දී දෙදිනක් පුරා පැවැත්විණි. හෙළ බසට මෙහෙ කළ වියතුන් හට ‘හෙළ බස් ඉසුරු’, ‘හෙළ බස් මිණි’ යන හරසර පට පිරිනැමීම ද මෙහි දී සිදු විය. • 1991 දෙසැම්බර වරකාගොඩ සිල්රුවන් හිමියෝ සිය කැමැත්තෙන් මැ හෙළ හවුලේ නයු පදවියෙන් අස් වූ හ. ඉක්බිති අ. දො. චන්ද්‍රසේකරයෝ නයු පදවියට පත් වූ හ. • 2001 දෙසැම්බර බසිසුරු අරීසෙන් අහුබුදුවෝ හෙළ හවුලේ නයු පදවියට පත් වූ හ. • 2005 දෙසැම්බර බසිසුරු අරීසෙන් අහුබුදුවෝ සිය කැමැත්තෙන් ම නයු පදවියෙන් අස් වූ හ. ඉක්බිති අනඳපිය කුඩාතිහියෝ එ පදවියට පත් වූ හ. • 2008 වෙදැදුරු අමරසිරි පොන්නම්පෙරුමයෝ හෙළ හවුලේ නයු පදවියට පත් වූ හ. • 2012 නොවැම්බර කලාවිදු ශ්‍රීනාත් ගණේවත්තයෝ හෙළ හවුලේ නයු පදවියට පත් වූ හ. • 2013 හෙළ හවුලේ දෙටුතම දිවමන් සුබැසියන් වූ සඳදස් කෝපරහේවා, විනී විතාරණ, ඊලියන් ද සිල්වා යන වියතුනට හරසර පුදනු වස් ‘දෙටු සුබැසි හරසර’ උලෙළ කොළොඹ ජාතික කෞතුකාගාර ශාලාවේ දී පැවැත්විණි. • 2016 ජනවාරි 11 'හෙළ හවුලේ විදුරු උලෙළ' (75 වන වසර සැමැරුම) බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දී පැවැත්විණි. www.helahavula.org යන හෙළ හවුලේ නිල විබැඳුම් පොළ එළි දැක්වීම ද එ දිනැ සිදු කැරිණි.